අලුතින් කසාඳ බැඳපු අයගේ ජීවිතවල ප්‍රශ්න වැඩියි

ජුනි 24, 2020

දහම් දෙසුම:- අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්‍රමහා පණ්ඩිත පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ

 

හදට හදක් එකතු වන මේ මංගල මල් සමයේ ජීවිතයට කොයිතරම් නම් දේවල් එකතුකර ගන්න තියෙනවාද? අලුතින් කසාද බැඳලා ජීවත්වන අයගේ ජීවත්වල ප්‍රශ්න වැඩියි. සමහර අය කියනවා මම අවුරුදු දහයක් තිස්සේ යාළුවෙලා හිටපු මනුස්සයාගේ හැටි දැනගත්තේ කසාද බැඳලා ගිහිල්ලා දවස් දෙකෙන් කියලා.

තවත් සමහර තරුණ පිරිමි ළමයි කියනවා මම අවුරුදු දහයක් දොළහක් ආදරය කළේ මේ ගෑනු ළමයටද කියලා හිතුණේ පවුල් ජීවිතය ගත කරන්න අරගත්තට පස්සෙයි කියලා. මේ හැම කතාවෙම සත්‍යයක් තියෙනවා. ඒ මොකද ආදරය කරන කාලසීමාවයි පවුල් ජීවිතය ගත කරන කාලසීමාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. ආදරය කරන කොට නම් පාරෙ යන්නෙ හාකො බොන්ඩ් ගාලා වගේ. ඒ කාලයේ ජීවිතය වෙන්නෙ පුංචි පරාසයක්. පවුල් ජීවිතය ගත කරන කොට අර ළබැඳියාව චුට්ට චුට්ට ඈත්වෙනවා. ඉස්සර නම් ඔයා කෑවද බිව්වද කියලා අහන්න ඕන තරම් වෙලා තිබුණා. ඔය කාර්යාලවල ඉන්න තරුණ දරුවො දන්නවා ඇති තමන්ගේ ආදරණීය පෙම්වතා දවල් දොළහටත් කතා කරනවා. එකටත් කතා කරනවා. තුනටත් කතා කරනවා. ගැහැනු දරුවොත් එහෙමයි. ඒකට කාටවත් දොසක් කියන්න බැහැ. ඒකට හේතුව ආදරය කරන ලෝකය තුළ ඔය වගේ පටු සීමාවල් තියෙන නිසා.

ඒක නැති කරන්න කාටවත් බැහැ. හැබැයි කසාද බැන්දට පස්සේ ඔය පෙම්වතියන්ගෙන්, පෙම්වතුන්ගෙන් කීයෙන් කීදෙනාද මහත්තයා කෑවද බිව්වද කියලා හොයන්නේ. මහත්වරුත් එහෙමයි. නෝනලා ගැන හොයන්නේ කීයෙන් කීදෙනාද? මොකද ජීවිතයේ අලුත් කාලසටහනක් කසාද බැන්දට පස්සෙ ඔය දරුවන්ට උදාවෙනවා. එතකොට අර වගේ පුංචි පුංචි දේවල් හරි ඉක්මනට මතකයෙන් ඈත්වෙලා යනවා. ඇත්තෙන්ම ඒවා හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. ඒක තවත් දුරට ඈතට යනවා තමන්ගෙ ලෝකයට දරු පැටියෙක් ආවට පස්සෙ. ඒත් ආදරණීය දුවේ පුතේ ජීවිතයේ ආදරණීය දේවල් හැමදාම පරෙස්සම් කරලා තියාගන්න. කසාද බැන්දට පස්සෙ කසාද ජීවිතය ගෙවන කොටත් මේ දේවල් තියාගෙන ඉන්නවා නම් පවුල් ජීවිතය සාර්ථක වෙනවා.

පවුල් ජීවිතය ඇතුළේ ගැටලු ඇතිවීම ස්වභාවිකයි. ඒකට හේතුව අපි දවසක් අවදි වෙලා තව දවසකට මුහුණ දෙන්නේ තව අලුත් අත්දැකීම් සමඟ. කසාද බැන්ද යුගයේදී ඔය තත්ත්වය වැඩි වෙනවා. තරුණ ජීවිතයේ තිබුණු වගකීමෙන් තොර බව ඉවත් වෙනවා. ඔබම බලන්න තනිකඩ ජීවිතය ගත කරන කොට තමන්ගේ ජීවිතය මෙහෙයවන්නේ තමන් බව හැඟෙනවා. සෙනසුරාදා ඉරිදා දවසේ ඔය අයට හිතුණ තැනට ඔය අය ඇවිදින්න යනවා. යාළුවෝ එක්ක ෂොපිං යනවා.

 

ඡායා - ලක්ශාන් පෙරේරා

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.