ඔබ මොනරෙක් ද? නැතිනම් හංසයෙක් ද?

අනුශාසනාව ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ
ජූලි 8, 2020

 

ගිහි ජීවිතයක් ගත කරන එක එතරම් ලෙහෙසි පහසු නොවෙයි. කොයි මොහොතේ මොන මොන කරදරවලට මුහුණ පාන්න වෙයිදැයි කාටවත් කියන්නට බැහැ. ඔබ මේ ගත කරන ගිහි ජීවිතය සහ පැවිදි උතුමන් ගත කරන දිවි පෙවෙත අහසට පොළොව වගේ.

බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ජීවිතය මොනරකුට උපමා කරනවා. බැලූ බැල්මට මොනරා ලස්සනයි. පිල් විදහාගෙන නටනවා. එහෙත් මොනරාට වේගයෙන් පියඹා යන්න පුළුවන්කමක් නැහැ.ගිහියා ගත කරන්නේ කාමභෝගී ජීවිතයක්. දරු මල්ලෝ, ගෙවල් දොරවල්වල, රැකියාවල ප්‍රශ්න මෙකී නොකී සියලු පැතිවල ප්‍රශ්න එක්ක තමයි ගිහි ඔබ ජීවිතය ගත කරන්නේ. හැබැයි ඒ අතර ලස්සන ලස්සන ඇඳුම් අඳීනවා. ආභරණ පලඳිනවා. නටනවා, ගයනවා, විනෝද වෙනවා. මේ ආකාරයට සමාජයේ බොහොම ලස්සනට ජීවත්වන පිරිසකුත් ඉන්නවා. මොනරාට වේගෙයෙන් පිල් විදහා යන්නට බැහැ වගේ තමයි ගිහි ඔබත් ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් දුෂ්කරයි. පංචකාමයන්ගේ බැඳීම්වලින් ඉවත් වී නිස්සරණය අවබෝධකර ගත් ගිහි තැනැත්තාට නිවන් මඟ පහසුවෙන් අත්පත් කරගත හැකියි.

පැවිදි උතුම්න් හංසයන් වැනිය. හංසයාට දියෙන් කිරි වෙන්කර ගන්නට හැකියි. ඒ හංසයාට වේගයෙන් පියඹා යන්නත් පුළුවන්. හැබැයි බොහොම චාම්. සරලයි. අන්න ඒ වගේ ගිහියාට වඩා පැවිදි උතුමන් බොහොම චාම්, සරල දිවියක් තමයි ගත කරන්නේ.එවිට ජීවන චක්‍රයේ අවසන් කඩ ඉමට නැතිනම් නිවන් මඟට යාම පහසුයි.

කෙනක් තමන්ගේ ජීවිතයේ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, ප්‍රඥා යන කරුණු නැති කළහොත් ඒ තැනැත්තා පිරිහේ. බුදුන්වහන්සේ මෙය පෙන්වා දෙන්නේ එය දිළිඳු කෙනෙක් තමන්ගේ දිළිඳුකම නිසාම ණය අරගෙන ජීවිතය පිරිහීමට ලක් කර ගන්නවාක් මෙනි. කෙනෙක් අකුසල් කරනවා කියන්නේ ලැජ්ජාව බය නොමැතිකමයි. පවට බය නැති වීමයි. වීර්ය නැති කමින් ප්‍රඥාව තොර වීමෙන් පවට නැඹුරු වීමයි. බුදුරජාණන්වහන්සේ එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී භික්ෂූන් වහන්සේලා ඇතුළු බොහෝ පිරිසක් දම් සභා මණ්ඩපයේ රැස්ව සිටියා. එහිදී මේ දේශනාව වදාළහ. පංචකාමය තුළ ජීවත්වන කාමභෝගී දිවියක් ගත කරන්නකුට දිළිඳු බව දුකක්. සමහරු ලද දෙයින් සතුටු වන අයත් ඉන්නවා. ඒ අය පැල්පතේ සිට හෝ පිනක් දහමක් සිදු කරනවා. බොහොම සතුටින් කාලය ගත කරනවා. මේවා තම තමන් කළ විපාක යැයි සිතමින් කටයුතු කරනවා.

එහෙත් මෙහිදී බුදුරජාණන්වහන්සේ විස්තර කරනුයේ කාමභෝගී ජීවිතය ගත කරමින් තව දුරටත් එලෙසම ජීවත්වන්න කැමැති අය ගැනයි. ඔවුන්ට දිළිඳු බව සැබෑම දුකක්. ඔවුන් අනෙකාගේ සතුට දෙස බලා සිතින් විඳවනවා. දුක් වෙනවා. මේ නිසාම තම යැපීම පිණිස ණය වෙනවා. ව්‍යාපාරයක් අරඹන්න දියුණුවක් ලැබීම උදෙසා ණයක් වීම අනුමත කළ හැකියි. එහෙත් කන්න, බොන්න, අඳීන්න, පලඳින්න ණය ගන්න අය ඉන්නවා. තමන්ට මේ ණය ගෙවන්න පුළුවන්ද?

නමුත් අප කළ යුත්තේ ආදායමේ හැටියට ජීවත් වීමයි. එහෙත් තම අසීමිත කාම සංකල්පනා තුළ පිහිටා ණය වනවා. මේ ණය වීම දුකක්.ණය වීමෙන් පොළිය එකතු වීම එයටත් වඩා දුකක්. මේවා ගෙවා ගන්න බැරි වන විට ණයට දුන් පුද්ගලයන් ඔබට චෝදනා කරනවා.බලන්න ණයට ගැනීම තුළින් ඔබට අපවාද විඳින්නට සිදුවෙනවා. ඒ වගේම ඔවුන් ඔබ පසු පස ලුහු බඳීනවා. කාමභෝගී දිවියක් ගත කරන කෙනාට එය මහත් දුකක්. හැංඟි හැංඟි ජීවත් වන එක කරදරයක්. නීතියෙන් දඬුවම් විඳීන්නත් වෙනවා. මේ ලෙසින් බුදුරජාණන්වහන්සේ දිළිඳු පුද්ගලයා කාමභෝගී දිවියක් ගත කිරීමේ ඇති අධික ආශාව හේතුවෙන් හිටියාටත් වඩා දුකට පත්වන බව පෙන්වා දුන්නා. ඔබත් මෙවැනි සිදුවීම් ප්‍රායෝගික ජීවිතයේ අත්දැක ඇති.

මෙලෙසින්ම කෙනෙක් ශ්‍රද්ධාවෙන් තොර නම් එම පුද්ගලයාද දිළින්දෙක් බව උන්වහන්සේ පෙන්වා දී තිබේ. කාමභෝගී ජීවිත ගත කරන මිනිස්සු යාන වාහන, ඉඩකඩම්, ගේ දොර, රත්රන් බඩුවලින් ධනවත් බව මනිනවා. එහෙත් බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයාගේ ධනය විය යුත්තේ ශ්‍රද්ධාවයි. තුනුරුවන් ගැන කෙනෙක් තුළ ඇති ශ්‍රද්ධාවයි ඔහුගේ ධනය. යම් කෙනෙක් තුළ කුසල කර්මයක් දියුණු කර ගැනීමට ශ්‍රද්ධාවක් නැතිනම්, කුසල් වැඩීම පිණිස ඔහුට වීර්යත් නැතිනම් පවට ලැජ්ජාවකුත් නැතිනම් ඔහු ඕනෑම අපරාධයක් කරන්නට පෙලඹෙනවා. අන්න එවැනි අය බුද්ධශාසනයේ දිළින්දෙක්. කුසල් ධර්ම වැඩීම පිණිස වීර්ය ඇති විය යුතුයි. උපන්නා වූ අකුසල් නැති කර ගන්නට වගේම නූපන් කුසල් ඇති කර ගැනීමට වීර්ය වැඩිය යුතුයි.

ධර්මාවබෝධයට නුවණක් නැති පුද්ගලයා ද දිළිඳු වේ. ආර්ය විනය තුළ හෙතෙම මෙවැනි අය කයෙන් දුසිරිත සිදු කරනවා. වචනයෙන් අකුසල් කරනවා. මනසින් දුසිරිතයෙහි යෙදෙනවා. පවට ලැජ්ජා බය නැති මෙවැනි අය දිළිඳුකම නිසා ණය ගත් අය වැනි යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

බුද්ධ දේශනයේ මෙවැන්නක් සඳහන් වේ. මේ ලෝකයේ තමන් කරන හොඳ නරක පව් පින් එබැවින් තමන් ගැන තමන් දන්නේ යම්සේ ද එලෙසින්ම දෙවියනුත් ඔබ ගැන දනී. එබැවින් ඔබ හැම වෙලාවේම හිතට ගන්න ඕන කාරණයක් තමයි මම කාට හොරෙන් පව්කම් කළද දෙවියෝ ඒ බව දන්නා බව. ඒ නිසාවෙන්වත් මා අයහපත් දේ නොකළ යුතු යැයි නිරන්තරයෙන් සිතට ගන්න. ඒත් එක්කම හෘදයසාක්ෂියට අවනත වන්න. විශාඛාව විවාහ වන දවසේ විශාඛාවන්ගේ පියා ඇයට අවවාද දහයක් දෙනවා. ඒ අදටත් පොදු වූ වටිනා ඔවදන්.

  •  ගෙයි ගිනි පිටට දෙන්න එපා. එනම් ස්වාමියා හා බිරියගේ ප්‍රශ්න එළියට කියන්න එපා.
  •  පිට තියෙන ගිනි ඇතුළට ගන්න එපා. එනම් නෑදෑ හිත මිතුරන්ගේ ගමේ අයගේ ඒවා ගේ ඇතුළේ විසඳීය යුතු නොවෙයි.
  •  දිය යුත්තාට දෙන්න. එනම් අසරණ වු යමක් ඉල්ලන් එන්නාට මෙන්ම නැවත දෙන පුද්ගලයන්ට අවශ්‍ය දේ දෙන්න.
  •  නැවත නොදෙන අයට දෙන්න එපා. එනම් හොරු වංචනිකයන්ට රැවටෙන්න එපා.
  •  දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න. සත්‍ය වශයෙන්ම අසරණ වූ කෙනකුට නැවත ගන්න බලාගෙන හෝ නොබලාගෙන දෙන්න.
  •  ඔබේ ස්වාමියා මා පියන්, වැඩිහිටියන් ඉදිරියේ ගරු සත්කාර කර වාඩිවන්න.
  •  සැප සේ ආහාර ගන්න. තම ස්වාමියා, නැන්දා, මාමා, දරුවන් ආහාර ගත්තාදැයි බලා අවසානයට ආහාර ගන්න.
  •  සුවසේ නිදාගන්න. නිවෙසේ සියලු දෙනාට නින්දට ගිය පසු දොර ජනෙල් ගැන සොයාබලා අවසානයට නින්දට යන්න.
  •  ගින්දරක් ඇසුරු කරනවා සේ ඔබ ඔබේ ස්වාමියා හා ඔහුගේ නෑදෑයන් ඇසුරු කරන්න.
  • තමන් කතා කරන වචනයෙන් පවා පරෙස්සම් වන්න.
  •  ස්වාමියාට හා ඔහුගේ මාපියන්ට දෙවියන්ටසේ පුද සත්කාර කරන්න.

විශාඛාව සෝවාන් වූ තැනැත්තියක්. එවන් කෙනකුටත් පියා මෙලෙස අවවාද ලබා දුන්නා නම් ඔබට මේ අවවාද කෙතරම් වැදගත් වේදැයි සිතට ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.