සිත දමනය කිරීමෙන් ඔබේ සංසාර ගමන ම රැකදේවි

ජූලි 22, 2020

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ දේශනා කළ දහම් කරුණු ඇසුරිණි

අපි වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නෙ. සමහර කර්ම තියෙනවා ආත්ම සිය ගණන් අරන් යන. ඒ වගේම අකුසල විපාක ආත්ම දස දහස් ගණන් විඳවන්න වෙනවා. සැලසුම්කර කෙනකුගෙන් වෛරයෙන් පලිගන්න කටයුතු කළා යැයි සිතමු.

ඒ මොහොතේ ඔබ ජයග්‍රහණය කරාවි. නීතියෙන් බේරෙන්නත් පුළුවන් වේවි. ඔබ ඔබේ හිතවත්කම, බලය පාවිච්චි කර එයින් බේරෙන්න ඇති.

එහෙත් කර්මයෙන් බේරෙන්නට බැහැ. ඔබ කවුරු වුණත් ඔබේ හෘදය සාක්ෂියට අනුගත වන්නට වෙනවා.

ඒ වගේම උප උපන් ආත්මවල මෙහි පල විපාක ලැබෙනවා.

කවුරුත් මේ සසරේ නෙළා ගන්නේ අපි අපිම වපුරපු දේවල්.

යමක් අපි සිදුකරයිද සංසාරේ කෙදිනක හෝ එහි පලය අත්විඳින්නට සිදුවේවි. දීර්ඝ සංසාර ගමනක යන අපි යහපතක් සිදු කළේද එහි යහපත් විපාකය ලැබෙයි.

අයහපතක් සිදු කළේද අයහපත් විපාක අත් විඳින්නට වේවි.

ද්වේෂය වපුරන කෙනකුට උරුම වන්නේ සසරේ දුක් විඳ විඳ යන ගමනකි.

බුදුරජාණන් වහන්සේ විසින් ද්වේෂය යටපත් කර ගත හැකි ක්‍රම ‘විතර්ක සංඨාන’ දේශනාවේ සඳහන් කර තිබෙනවා

1. ද්වේෂයේ ආදීනව සිහි කරන්න

ඔබට කේන්තියක් ආ විගස පලිගැනීමට සිතේ. එකට එක කරන්නට සිතේ. මොන ක්‍රමයෙන් හෝ අසුනොවන අයුරින් පලි ගත යුතුයි කියා සිතේ. අන්න එවැනි වෙලාවට මෙහෙම හිතන්න. මට නීතියෙන් බේරෙන්න පුළුවන් වෙයි. ලෝකයාගෙන් සඟවන්නට හැකි වේවි. එහෙත් මගේ හෘදය සාක්ෂියට මා වැරැදිකාරයෙක්.

ඒ රැස් කර ගන්නා කර්ම විපාකයෙන් මට කල්ප ගණනක් දුක් විඳින්නට වේවි. කොයි තරම් තිරිසන් ආත්මවල උපත ලබන්නට සිදුවෙයිද? පෙර සසරේදීත් මෙවැනි ද්වේෂ කිරීම් නිසා මා කොයිතරම් නම් දුකට පත්ව ඇතිද? මෙලෙසින් සිතා ඔබ ඔබේ හිතේ ඇති ද්වේෂය, තරහව, වෛරය යටපත් කර ගන්න. එලෙසින් ආදීනව ගැන සිතා ද්වේෂය යටපත් කර ගන්න ඔබ දක්ෂ විය යුතුයි.

වෛරයකින් වෛරයක් කිසිදා සංසිඳිය නොහැකියි. ඔබට යමකුගෙන් කරදරයක් වුණා කියලා හිතන්න. එයට ඔබත් දඬුවම් කරන්නට යාවි. එයින් අර පුද්ගලයා නැවත සැලසුම්කර කරදර හිරිහැර කරයි. මෙය සාංසාරික වෛරයක් වේවි. “හරි මම පලිගත්තා’ එහෙම හිතා ඔබ සතුටු වේවි. එහෙත් කෙදිනක හෝ සංසාරේ නැවත ඔවුන්ගෙන් ඔබට හිරිහැර වේවි. මේ වෛරය දිගින් දිගටම යාවි. ආත්මයෙන් ආත්මය පසුපස ඒවි. ඒ නිසා හැම වෙලාවේම ඔබ සන්සුන් මනසින් කටයුතු කළ යුතුයි.

2. ඔබ ඔබේ හිත දෙස බලන්න

ඇතැම් විට ඔබට යමෙක්, යම් කණ්ඩායමක් ගැන තරහවක්, වෛරයක්, ද්වේෂයක් බලවත් වේ නම් ඔබම හිතන්න මේ ද්වේෂ හිත මට හානි කරයි. මට අකුසල් රැස් වේ. බැරිවෙලාවත් මා අනුන්ට වෛර කර කර සිටින මොහොතක මිය ගියොත් මගේ ආත්මය යහපත් එකක් නොවෙයි. එලෙස බලමින් ද්වේෂය යටපත් කරගන්න. හැම විටම මෙත් සිත, මෛත්‍රිය, මිත්‍රත්වය පතුරවන්න.

මේ කතා පුවත හොඳින් කියවන්න.

තමන්ගෙ අම්මා තාත්තා මරණයට රැගෙන යන වෙලාවේ දීඝායු කුමාරයා ඒ අම්මා, තාත්තා පස්සෙන් යනවා.

විශාල පිරිසක් හඬා වැළපෙනවා. නගරවාසීන් බියෙන් පුදුමයෙන් බලා සිටිනවා.

වෙන දේශයක රජ කෙනෙක් තමයි මේ දීඝායු කුමාරයාගේ මවයි පියාවයි කසපහර දිදී මරණයට ගෙන යන්නේ.

ඒ මේ දේශය අල්ලා ගැනීමේ අරමුණ ඇතිවයි. දීඝායු කුමාරයා අම්මා තාත්තා පසු පස හඬා වැළපෙමින් එනවා.

පහර කකා යන මවයි පියයි දීඝායු කුමාරයාට ඇසෙන්නට මෙහෙම කිවුවා. “පුතා දීඝායු ළඟ නොබලන්න, දුර බලන්න. වෛරයෙන් වෛරයක් සංසිඳෙන්නේ නැත.

මිත්‍රත්වය පතුරන්න. මෙත් වඩන්න.” ජාතක පොතේ එන මේ කතා පුවතින් පිළිබිඹු වන්නේද තමන්ව මරණයට පත් කරන්නට උත්සහ දරන්නන්ට ද හැකිතාක් මෙත් වඩන්න කියායි.

අපිට ලෝකයා හදන්නට බැහැ. එහෙත් ඔබ ඔබේ හිතේ මෛත්‍රිය ඇති කර ගන්න. එයින් තව බොහෝ පිරිසක් සුවපත් කළ හැකියි. ඔබ වචනයෙන් සංවර වන්න.

මගේ වචනයකින්වත් කිසිවකුට හිංසාවක් නොවේවායි සිතන්න. මගේ කායික ක්‍රියාවකින් පවා තව කෙනකුට පීඩාවක් ඇති නොවේවායි නිතර සිතන්න.

මෙහෙම මෛත්‍රිය වඩනවා වගේම කරුණාව වැඩිය යුතුයි. හිත උණුවෙන ගතිය කරුණාවයි. කෙනෙක් දියුණුවන විට දැක සතුටු වීම මුදිතාවයි.

“අනේ කොච්චර දෙයක්ද එයා දියුණු වෙන ලස්සන.”

මෙහෙම හදවතින්ම සතුටු වන්නට පුළුවන් නම් ඔබේ සිත සැබෑම ලස්සනයි.

මෛත්‍රිය කියන්නෙ පින අතර අග්‍රම පිනක්. ඒ වගේම තමන්ට සංසාර ගමනෙදි ලැබෙන විශාල රැකවරණයක්.

මෛත්‍රි සිතක් පුරුදු කර ගැනීමේ ආනිසංස මෙතැකයැයි කිව නොහැකියි. එබැවින් ඔබ මෛත්‍රිය ආනිසංස දකින්න.

ද්වේෂය ගම් රටවල් අවුලවාලිය හැකි දෙයක්. කතාවෙන්, කේළම්වලින් මිනිසුන් අතර ද්වේෂය, වෛරය ඇතිකරවන පවුකාර මිනිසුන් අපි අතර සිටිනවා.

ඔබ ඔබව හීලෑ කර ගැනීම හැම වෙලාවකම සිදු කළ යුතුයි.

මගේ කයින්, වචනයෙන්, සිතෙන් කිසිවකුට හිංසාවක් ඇති නොවේවා! මේ උතුම් ප්‍රාර්ථනය ඔබේ සිතේ ඇති කර ගන්න. කෙනකුගේ දියුණුවක් දැක හදවතින්ම සතුටු වන්න. කරුණාබර හදවතක් ඇති කර ගන්න. ඔබට යමෙක්ගෙන් වරදක් වුවත් එයට පලිගන්න, එකට එක කරන්නට යන්න එපා. එයින් විශාල ව්‍යසනයක් වේවි.

ඔබ ධර්මය හුරු පුරුදු කර ගන්න. හිත රැක ගැනීම, හිත දමනය කිරීම ඔබේ සංසාර ගමන රැක දේවි.