ඔබටත් රෑට නින්ද යන්නේ නැද්ද?

සැප්තැම්බර් 9, 2020

මෛත්‍රී භාවනාව දෛනිකව හුරු පුරුදු කරන්න

හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න කළ යුත්තේ මොනවාද?

නින්ද කියන්නේ දිව ඔසුවක්. විඩාබර ගතට, නෙතට, සිතට බොහොම අස්වැසිල්ලක්. එහෙත් අද සුවබර නින්දක් ලබන්නේ කීයෙන් කී දෙනාද?

" අම්මෝ ඊයේ මුළු රෑම ඇහැරලා හිටියෙ."

"පැයෙන් පැය මට ඇහැරුණානෙ "

" ඇඳට ගියත් ඇස් දෙක පිය වුණේම නෑ "

" අනේ මන්ද මේ දවස්වල රෑට නින්ද යන්නෙම නෑ "

" ඊයෙත් හරි නින්දක් නෑනෙ "

ඔය වගේ මැසිවිලිවල අත්දැකීම් ඔබටත් ඇතුවාට සැක නැහැ. ඇයි මේ නින්ද නොලබන්නේ ? ඕනෑම කෙනෙක් දහවල් කාලයේ කය, මනස වෙහෙසා පුංචි හෝ කාර්යයක නියැළෙනවා. එහෙම නම් රාත්‍රියේ නින්දක් ලබන්නටම ඕනෙ. නින්ද ළඟා නොවීම, නින්ද නොලැබීම එතරම් යෝග්‍ය දෙයක් නොවෙයි. එය ගත සිත දෙකම ලෙඩ කරන්නක්. අද අපි මේ පිළිබඳ ධර්මානුකූල විමසා බැලීමක් කරමු.

වෛරය, ක්‍රෝධය, දැඩි ද්වේෂය සිතට පැන නැගුණොත් නින්ද කිසිසේත් ළඟා වන්නේම නැහැ. ඒ අත්දැකීම ඔබ විඳ ඇති. කොච්චර නම් කාමරය වටා ඇවිදිනවාද ? කී සැරයක් අඩ නින්දෙන් ඇහැරෙනවාද? ඒ අත්දැකීම මොනතරම් දරුණු ආතතියක්ද? එවැනි රැයකදී එළිවෙන පාන්දර නින්ද ළඟා වෙනවා. අපි මෙහෙම හිතමු. ඔබ විවාහක කාන්තාවක්. ඔබ ඔබේ ස්වාමියා සමඟ අමනාප වී රණ්ඩු සරුවල් කරගෙන සිටි ආතතියටයි නින්ද නොගියේ කියලා. අවසානයේ පාන්දරජාමේ නින්ද යනවා. එහෙත් ස්වාමියාටම වැඩට යන්න ඔබට නැවත අවදි වී ආහාර පිසින්නට වෙනවා. බලන්න මේ අත්දැකීම. එවිට ඔබ අවදිවන්නේ දුකෙන්.

ඔබ සැපයක් අත්විඳීනවා නම් සැපෙන් නින්ද යනවා. සැපයෙන් ඉන්නවා නම් සැපෙන් අවදි වෙනවා. සුවසේ මේ දේ නොවනවා නම් ඔබ තුළ සැපයක් නැහැ. ඔබේ සිත සතුටක නැහැ. ඔබ සිතුවත් නැතත් එය ඔබට සිදු කර ඇත්තේ වෛරය විසිනි. ක්‍රෝධය විසිනි, තරහව විසිනි. ඒ සිතුවිලි ඔබට කළ විපත්තියයි. අපි කවුරුත් නිවුණ බවකින් යුක්තවයි ජීවිතය ගත කළ යුත්තේ. සැනසීම කියන දේ නිරන්තරයෙන් උදා කර ගත යුතුයි.

ලබපු උතුම් මිනිස්භාවය සැපයට හරවාගෙන යහපතෙහි පිහිටුවාගෙන මිය දෙන්නට ඔබ අදිටන් කර ගත යුතුයි. මම සැප සේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා කියන සිතුවිල්ලෙන් තමන් සෑහීමකට පත්වන්නට ඕනෙ.

මේකට යාන වාහන, තට්ටු මාළිගා, ඉඩ කඩම් තියෙන්නෙට ඕනෙ නැහැ. මේ මොනවා තිබුණත් සුව නින්දක් නොලැබේ නම් ඔබ තුළ සුඛෝපභෝගී බවක් නැහැ. ඔබට මනසින් විඳවන්නට වෙනවා. මනස රෝගී වෙනවා.

ඔබ ඔබේ ආධ්‍යාත්මය තුළින් මේ සැපය ලැබිය යුතුයි. ඒ සඳහා කළ යුතු හොඳම දේ වෛරය, ක්‍රෝධය, තරහව තුළින් ඈත්වීමටයි. කෙනෙක් හේතුන් නවයකින් තවකෙකුට වෛර කරනවා. එනම්,

මට මේ දේ කළා. මට එයා නරක විදිහට කටයුතු කළා. එහෙම කියලා වෛරය කරනවා.

දැනටත් මට ඔහු වැරැදි කරනවා කියලා හිතනවා. එයිනුත් වෛරය සංවර්ධන වෙනවා. අතීතයේත්, වර්තමානයේත් වෛරය සංසන්දනය කරනවා. එනම් මට ඔහු තව තව අපරාධ කරයි. කියලා හිත හිතා වෛර කරනවා. එනම් උපකල්පනය කරමින් වෛර කිරීමයි.

මේ නිසා තමයි අද මිනිසුන්ට අනෙකා සමඟ සුහදව ඉන්නට නොහැකි වන්නේ. වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන විට මොන හොඳක් ඇසුණත් එය දැනෙන්නේ නෑ. තම අදහස තව දුරටත් තහවුරු වන දේයි පේන්නට ගන්නේ. තව කෙනකු සම්බන්ධව ඇති තරහව ඉවර නොවී ඇත්නම් ඔබ තුළත් පෙර කී සිතුවිලි තියෙන බව නම් නොඅනුමානයි. කිසිම සාමයක් අනෙකා හා ගොඩනැගීමට නොහැකි වන්නේ ඔය කාරණාව නිසයි.

මගේ අයට අයහපතක් කළා. යැයි ඝට්ඨන ඇති කර ගැනීම ඊළග කරුණයි. මගෙ අම්මට කළේ මෙහෙමයි. මගෙ තාත්තට කිවුවෙ මේකයි කියලා ද්වේෂය පවත්වාගෙන යනවා. මෙයට පුංචි හෝ අතපසුවීමක් එකතු වුණෙත් එය තව දුරටත් වර්ධනය වනවා. එනම් වර්තමානයෙත් අර පුද්ගලයාගෙන් වරදක් වුවහොත් කියන්නේ. " ඔය පේන්නෙ නැද්ද මගේ අයටමයි ඔහොම කරන්නේ " කියලා වෛරය තවත් සාධාරණීය කර ගන්නවා.

එහෙත් එම ක්‍රියාව කරන්නා එය සැලසුම් සහගතව කරන්නේ නැතිව ඇති. නමුත් ද්වේෂයෙන් බලන විට සියල්ල ඔබට පෙනෙන්නෙ වැරැදියටය. මම ඉන්නැද්දිත් මෙහෙම නම් මම නැතුවාම මගේ අයට මොනවා කරයිද? මේ විදිහට අනාගතය ගැන දුර්වලව හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙම ඇයට එක රැයක්වත් සුවසේ පහන් කරන්නට වන්නේ නැහැ. සැපය උරුම නැහැ. අසහනය, අතෘප්තිය, කළ කිරීම පමණයි උරුම වන්නේ.

මේ මොන දේ වුණත් ධර්මය ඇසුරු කරන ධර්මාවබෝධය පිණිස කටයුතු කරන ඔබ හැකිතාත් වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහවෙන් ඈත් වීම අවශ්‍යයයි. මේ දේවල්වලින් ඈත් නොවී " අනේ මට නින්ද යන්නේ නැහැ. " කියන මැසිවිල්ල නැඟුවාට පලක් නොවේ. මෛත්‍රී භාවනාව දෛනිකව හුරු පුරුදු කර ගන්නටත් ඔබ අමතක නොකරන්න. එය වැඩීමට ඕනෑම අවස්ථාවකදී පුළුවන්. ඔබ ඔබට ආදරේ නම් කිසිවකුට වෛර නොකරන්න. ඔබ ඔබට ආදරේ නම් අනෙකාට ක්‍රෝධ නොකරන්න. සියලු මනුෂ්‍යයාට ආදරය, සෙනෙහස, ළෙංගතුකම පිදූ තරමට පෙරළා සැනසීම ලැබේ.

 

අනුශාසනාව - රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ