අකීකරු බිරියක හෝ සැමියකු ලැබුණේ ඔබට සුන්දර දෙවියෙක් වන්නට ය

ඔක්තෝබර් 28, 2020

මිනිසා උපදිමින් මියයමින් ගමන් ගන්නා මේ සසර දිගුය. බියකරුය. ඉන් අත්මිදීම එතරම් පහසු නැත. සසරෙන් මිදුණා වූ යමකු වේද හෙතෙම පින්වන්තය. දුර්ලභ මිනිසත් බවක් ලැබූ අප ද පින්වන්තය.

එහෙත් ඒ පින්සාර බවට වටිනාකමක් ලබාදිය හැකි වන්නේ සසර හරි හැටි අවබෝධකර ගත්තෙකුටය. බලන්න, අද විවාහක අයගෙන් සතුටින් සෙනෙසින් කාලය ගත කරන්නේ කීයෙන් කීදෙනාද . බිරිය සැමියා අතර අඹුසැමි ගැටුම් තිබේ නම් දරුවෝ නොමඟ ගොස් කොයිතරම් යහමඟට ගන්න හැදුවත් පලක් නොවේ.

අපේ කාන්තාවන් මේ ප්‍රශ්න දුක් කම්කටොළු මහමෙරක් තරම් හිතේ දරාගෙන ඉන්නවා. ඇත්තෙන්ම මේ සසර දනව්වේ ඔවුන් විඳීන්නේ පුදුම දුකකි. මේ දුක නැතිකර ගත හැකි මඟක් වේ නම් එය අවබෝධකර ගන්නට උත්සාහ කරමු.

අකුසල් ගැටුම් ඇති කරයි

සංසාර මඟේ දුක නැතිකර ගැනීමේ ක්‍රමය ලෙස අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපි කිසියම් සැපක් ලබනවා නම් ඒ සැප අපි අනුන් නිසා ලබන දෙයක් නෙමේ. අපි රැස් කළා වු කුසලයක පලයකි. බිරියක් ස්වාමිපුරුෂයා නිසා සැපක් ලබනවා නම් ඒ ස්වාමිපුරුෂයා නිසා නොව බිරියගේ කුසල්වල පලයකි. මේක දෙපසටම එලෙසයි. ස්වාමිපුරුෂයෙක් බිරියක් නිසා සැපයක් ලබයි නම් ඒ ස්වාමිපුරුෂයා කළා වූ කුසල් ශක්තියේ පලයකි. එනිසා සමාජයේ දී, පවුල් ජීවිතයේ දී, විවාහයේ දී ඔබට ගැටුම් මතුවෙනවා නම් මතුවෙන්නේ ඔබ කළා වූ අකුසල් සංස්කාරකයන් හේතුවෙනි. ඔබ විවාහ වෙනවා කියන්නේ, එයට කෙනෙක් තෝරා ගන්නවා කියන්නේ, කෙනකුට බැඳෙනවා කියන්නේ විඥානයෙන් බැඳීමයි.

 

සිනහවක තරම

මා මුණ ගැසීමට එක මහත්තයෙක් පැමිණියා. ඒ ඔවුන්ගේ අවුරුදු 25 ක විවාහ සංවත්සරය වෙනුවෙන් දානයක් පිළිගන්වන්න. මම එතුමන්ගෙන් ඇහුවා ඔබ විවාහ වූයේ යෝජිත විවාහයකින් ද, ප්‍රේම සම්බන්ධතාවයකින් ද, කියලා, එතකොට ඔහු පැවසුවේ ඔවුන්ගේ සම්බන්ධය ආරම්භ වී ඇත්තේ ශ්‍රී පාදයේ නගිනකොට බිරියත් ඇයගේ පවුලේ අයත් ශ්‍රී පතුල වන්දනාකර පහළට බසින අවස්ථාවේ දෙදෙනා සිනහවීමෙන් ඇති වුණා වූ බැඳීමකින් බවයි. බලන්න එක සිනහවකින් මේ දෙදෙනා දෙදෙනාට ආකර්ෂණය වෙලා. අවුරුදු 25 ක වටිනා විවාහ ජීවිතයක් ගොඩනැගිලා තියෙන්නෙ එහෙමයි.

තවත් අවස්ථාවක එක මහත්මයකු ඇවිත් මට මෙහෙම කිව්වා. ස්වාමීන් වහන්ස මම මනමාලියන් විසිපස් දෙනකු බලන්න ගියා. මගේ හිතට ඇල්ලුවේ නෑ. මට ගැළපුණේ නැහැ. මම විසි හය වැනි මනාලිය බලන්න ගියේ ඇය මට සුදුසුයි කියා සිතාගෙනමයි. එහෙත් ඇයව කසාද බැඳලා තෙමසකින් දික්කසාද වෙන්න සිදුවුණා.

බලන්න, පෙර මනාලියන් විසි පස්දෙනාටම ඔහුගේ හිත නොගියේ එම මනාලියන්ගේ කුසලයන් බලවත් නිසාවෙනි. මොහුගේ සංස්කාරයන් බැඳී තිබුණේ විසි හය වැනි මනාලිය සමඟයි. ඔහුගේත් ඇයගේත් අකුසල කර්මයන් සමානයි. ඔහුගේ පිටුපස විවාහයට අදාළව තිබුණේ අකුසල් සංස්කාරයන්. ඒ අකුසල් සංස්කාරයන්ට අදාළ කෙනා මුණ ගැසෙනකල්ම ඔහුට පෙර සකස්වුණා වූ සෑම කැමැත්තක්ම අකැමැත්තකට පෙරළී ඇත.

 

හේතුඵල දහමේ ඇත්ත

ස්වාමිපුරුෂයා හෝ බිරිය තුළින් ඔබ ධර්මය දැකිය යුතුයි. ඔබට බිරියකගේ නාමයෙන් ලැබී ඇත්තේ ධර්මයයි. ස්වාමිපුරුෂයා නාමයෙන් ලැබී ඇත්තේ ධර්මයයි. දරුවා, මුණුබුරා, දුව, පුතා නාමයෙන් ලැබී ඇත්තේ ධර්මයයි. ධර්මය යනු සංස්කාරයි. මේ ධර්මය ලැබුණේ ගැටෙන්නවත්, ඇලෙන්නවත් නොවේ. මෙය ධර්මාවබෝධය පිණිසම හේතුකර ගත යුතුයි.

ඔබේ අම්මා ඔබට ලැබුණේ හේතුඵලයක් නිසා. තාත්තා ඔබට ලැබුණේ හේතුඵලයක් නිසා. එබැවින් ඔවුන් තුළින් ද ධර්මය මතුකර ගන්න ඔබ දක්ෂ විය යුතුයි. ඔබගේ සංස්කාර ධර්මයන්ට ගැළපෙන පරිදි තමයි ඔවුන්ව ලැබිලා තිබෙනුයේ. එසේ නම් ඔබේ කුසලය දියුණුකර ගනිමින් අම්මාට තාත්තාට සලකන්න. එවිට මතු භවයක දී වඩාත් හොඳ අම්මා තාත්තා කෙනෙක් ලෞකිකව ඔබට ලැබෙනවා.

ඉන් එහා ඔබ දක්ෂනම් අම්මා තාත්තා තුළින් විදර්ශනාව මතුකර ගත හැකියි. එනම් මෙවැනි අම්මලා තාත්තලා සසරේ මට කොතරම් මුණ ගැසී ඇතිද? මේ හැම මනුෂ්‍යයෙක්ම, දෙවියෙක්ම, බ්‍රහ්මයෙක්ම මට මාපියන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පූර්වේනිවාසානුස්සති ඥානය තුළින් දකිනවා මේ තිරිසන් ලෝකයේ ඉන්න සෑම සත්ත්වයෙක්ම මනුෂ්‍යයෙක්ම සසරේ ඥාතීන් වී ඇති බව. මේ ධර්මය තුළින් ඔබ ද අතීත පංච උපාදානස්කන්ධය මතුකර දකින්න.

 

තමාගේ වරද තමා තුළින් හඳුනාගන්න

සෑම හඳුනා ගැනීමක්ම, සෑම බැඳීමක්ම අනිත්‍ය බව දකින්න. අතීත පංච උපාදානස්කන්ධය තුළින් අනිත්‍යභාවය දකින්න. ඒ තුළින් වර්තමානයේ අනිත්‍ය උපාදානස්කන්ධය දකින්න. මේ සියලු වැටහීම් ඇති පුද්ගලයා අනාගත පංච උපාදානස්කන්ධයකට වැටෙන්නේ නැහැ. ඔහු දන්නවා අනිත්‍ය වූ ධර්මය. එම ධර්මය උපයෝගී කරගෙන කුසලය වැඩිය යුතුයි. එයින් විදර්ශනා නුවණ වැඩිය හැකියි. බිරිය හෝ ස්වාමියා කෙතරම් ගැටුම්කාරී වුවත් ඔවුන් තුළින් ලස්සන දෙවියෙක්, දිව්‍යාංගනාවක් දැකිය හැකියි. තමන්ට අකීකරු බිරියක් ලැබුණේ ඔබට සුන්දර දෙවියෙක් වන්නට බව තේරුම් ගත යුතුය. තමන්ගේ බිරිය ස්වාමියා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටු කරන්නට හිතට ගන්න. ඔබ අතීත භවයක බිරියට, ස්වාමියාට අකීකරු වූයේ නම් මේ භවයේ අකීකරු බිරියක, ස්වාමියකු ලැබී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බව මෙනෙහි කරගන්න. නිරතුරවම තමාගේ වරද තමා තුළින් හඳුනා ගන්න. එවිට ඔබට මේ සංසාරික අකුසලයෙන් මිදිය හැකියි.

 

විනාශකාරී ලෝකයටයි ඇදෙන්නේ

එසේ නොවී ඔබ ගැටෙන ස්වභාවයට යන මොහොතක් මොහොතක් පාසා අනාගතයේ දවසින් දවස විනාශකාරී ලෝකයට ඇද ගෙනයයි. මේ සමාජය ඉබි ගමනින්, මෘග සංඥාව කරා ඇදෙන්නෙත් එනිසයි.

මෘග සංඥාව කරා ගමන් කරන ලෝකයේ දී මනුෂ්‍යයාගේ ආයු අවුරුදු 10 ට අඩු වෙනවා. අවුරුදු 4 වනවිට කාන්තාවකට දරුවන් ලැබෙනවා. මෙවැනි ලෝකයක දී මනුෂ්‍යයා මීනී මස් කන්නකු වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව විසින් මේ රස පොළොව මරා දමනවා. මේ මහපොළොවේ එළවළුවක් හිටෙවුවත් පලක් ගන්නේ නැහැ. ඒවාට කෘමි නාශක,පොහොර දාන්න දාන්න රස ඕජාව මැරෙනවා. දැන් එළවළුවල, පලතුරුවල රසක් නැහැ. ඒවායේ රස නැතිවෙන කොට මිනිසුන් මස් අනුභවයට වැඩි වැඩියෙන් නැඹුරු වෙනවා. ඉල්ලුමට සැපයුම අඩුවීමෙන් අනාගතයේ මහා විනාශයක් හට ගන්නවා. අනාගතය බොහොම බියකරුයි.

 

සැමියා තුළින් ධර්මය දකින්න

පංච උපාදානස්කන්ධ මාරයා අපට සකසා දෙන්නේ එවැනි අමනුෂ්‍ය බියකරු ලෝකයක්. ඔබ මේ විඥානය කියන මැජික්කරුවාගේ සට කපටකම්වලට හසුවන්නට එපා. ඔබට අකීකරු සැමියෙක් ලැබුණේ නම් ඔහු තුළින් ධර්මය දකින්න. අකීකරු බිරිය තුළින් ධර්මය දකින්න. ධර්මය දැකීමෙන් විදර්ශනාව අවබෝධ කරගන්න. ඔබ මනුෂ්‍ය ලෝකය තුළ පංචඋපාදානස්කන්ධ මාරයා හඳුනාගන්න. එනිසා ඔබේ අකීකරු සැමියා, බිරිය, දරුවා තුළින් මේ පැටලිලි සහිත ලෝකය දකින්න. සංස්කාරය තුළ ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්නට එපා. සංස්කාරක තියෙන්නේ අනිත්‍ය දකින්නයි.

අම්මාට, තාත්තාට කළ යුතු උපස්ථානයක් කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනුයේ අම්මාව, තාත්තාව ශ්‍රද්ධාව තුළත් ශීලය, ත්‍යාගය, දානය, ප්‍රඥාව තුළත් පිහිටවන ලෙසයි. ඔබ අම්මාව තාත්තව ශ්‍රද්ධාව තුළ ශක්තිමත් කිරීමෙන් ඔවුන්ට අකුරට යුතුකම් ඉටුකළා වෙනවා.

අම්මා, තාත්තා, අකීකරු බිරිය/ සැමියා අකීකරු දරුවා තුළින් ධර්මය දකින්න දක්ෂ වන්න. ඔවුන්ව ඔබට ලැබුණේ ධර්මතාවයක් නිසා යැයි නිරතුරු අවබෝධ කරගන්න. ධර්මය මතුකරගෙන ඔවුන්ට ද එය අවබෝධකර දෙන්න. මේ තැන තමයි ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කර ගන්නා වූ තැන. එසේ නොකර ඔවුන් හා ගැටෙන්නට යන්නේ නම් ඔබ සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා. සම්මා සතිය, සම්මා සමාධියක් එවිට නැති වෙනවා. අපිට මේ ජීවිතයේ යමක් ලැබුණේ නම් හේතුවක් නිසාවෙන් බව සිතට ගන්න.

අමිහිරි දේ ලැබුණත්, අසුන්දර දේ ලැබුණත්, අවලස්සන දේ, අකීකරු දේ ලැබුණත් එයත් ධර්මය ලෙස දකින්න. ධර්මය ධර්මාවබෝධය උදෙසාම යොමුකර ගන්න. එවිට ජීවිතය ජීවත්කරලීමට පහසුය.

 

උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.