එදා විසාලා මහනුවර තුන් බියට දුන් විසඳුම වර්තමාන කෝවිඩ් වසංගතයට ගැලපෙන්නේ කෙසේද?

මැයි 31, 2021

 

වර්තමානයේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වය නිසා බොහෝ රටවල් දැඩි සේ පීඩාවට පත්ව සිටී. ඒ අතරේ සමහර රටවල් වල මිනිස්සු කිසිදු ප්‍රතිකාරයක් ලබා ගැනීමට නොහැකිව මැරී වැටෙති.

ඉන්දියාව වැනි රටවල්වල වසංගතයෙන් මියගිය අයගේ මළ සිරුරුද තැන් තැන් වල බලු කපුටන්ගේ ආහාර වෙමින් තිබේ. ඉන්දියාවේ තත්ත්වය දකිනා බොහෝ දෙනා කියන්නේ, වර්තමානයේ ඉන්දියාව අතීත විසාලා මහනුවර බවට පත් වී තිබෙන බවයි.

එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ විසාලා මහනුවර තුන් බියක් ඇති විය. ඒ භයානක තත්ත්වයෙන් ඒ රට බේරාගන්නට කිසිවකුට බැරි විය. තුන්බිය නැතිකර විසාලා මහනුවර නැවතත් සශ්‍රීක තත්ත්වයට පත් වූයේ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකර රතන සූත්‍රය දේශනා කළ නිසා ය.

"අද පවතින්නේ ද තුන් බියක් බවත්, රතන සූත්‍රය දේශනා කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන්නේ ඇයිද කියාත්" බොහෝදෙනා අසති. විවිධ අය ඒ පිළිබඳව විවිධ අදහස් දක්වති.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ විසාලා මහනුවර පැවැති ඛේදවාචකය මොන වගේ එකක්ද?, භාග්‍යවතුන් වහන්සේ එය සමනය කළ ආකාරයත්, අද පවතින මේ තත්ත්වයට ධර්මයේ පිහිට ලබාගත යුත්තේ කෙසේද යන්නත්, මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

 

එදා විසාලා මහනුවර...

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ විසාලා මහනුවර හැම අතින්ම සමෘද්ධිමත් සැප සම්පත්වලින් පිරී ගිය නගරයක් වේ. හත්දහස් හත්සිය හතක් රජ දරුවන් පාලනය කළ සමූහාණ්ඩුවක් තිබූ එහි, සශ්‍රීකත්වය වෙනත් රාජධානිවලට වඩා හැම අතින්ම, ඉහළින් ම තිබුණි.

මේ විසාලා මහනුවරට පසුකාලයේදී කලට වැසි වැස්සේ නැත. කුඹුරු ගොවිතැන්කර ගන්නට නොහැකිව රට තුළ දැඩි ආහාර පාන හිඟයක් ඇති විය. පළමුවෙන්ම විසාලා නුවර සිටි දුප්පත් මිනිස්සු ආහාර පාන නොමැතිව තැන් තැන් වල මැරී වැටෙන්නට විය. ඒ මැරුණු මිනිසුන්ගේ ශරීර තැන් තැන්වල ගොඩ ගැසුණු අතර ඒ ගොඩ ගැසුණු මළ සිරුරුවල ගඳට විවිධාකාර අමනුස්සයෝ විසාලා මහනුවරට පැමිණෙන්නට විය. ඒ නිසා මිනිසුන්ට අමනුස්ස හිරිහැරයත් ඇති විය. අමනුස්ස කරදර නිසා වැඩි වැඩියෙන් මිනිසුන් මියැදෙන්නට විය.

ඒ පිළිකුල නිසා ජීවත්ව සිටි සත්ත්වයින්ට අහිවාතක නමින් රෝගයක් ද වැලඳුණේය. එයින් ද මිනිසුන් මැරෙන ප්‍රමාණය තව තවත් වැඩි වන්නට විය.

එදා අතිශයින්ම සශ්‍රීක, හැම අතින්ම සමෘද්ධිමත්ව තිබූ විසාලා මහනුවරට, පළමුවෙන්ම දුර්භික්ෂ බිය ඇතිවිය. දෙවනුවට අමනුස්ස බිය ඇතිවිය. තුන් වෙනුවට රෝග බිය ඇතිවිය. මේ තුන් බියෙන් මුළු මහත් විශාලා මහනුවර නගර වැසියෝ දැඩි සේ පීඩාවට පත්වූහ.

ආහාරපාන නොමැති කමත්, අමනුස්සයන්ගෙන් ඇතිවන පීඩාවත්, අහිවාතක නම් රෝගයත්, නිසා එකම අමු සොහොනක් වුණු විසාලා මහනුවර රජ දරුවන් විවිධ ක්‍රම වලින් තමන්ගේ රට බේරාගන්නට උත්සාහ කළහ.

ඔවුන් පළමුව රැස් වී මේ ගැන සාකච්ඡා කරමින්, විවිධ අයගේ උපදෙස් අනුව, විවිධාකාර සෙත් ශාන්ති, බලි තොවිල් ශාන්ති කර්ම ආදිය කළහ. ඔවුන් විශ්වාස කරමින් සිටි සියලුම විශ්වාසයන්ට මේ තුන් බිය නැති කරන්නට නොහැකි විය. බුදුරජාණන් වහන්සේ මේ වනවිට වැඩ සිටියේ බිම්බිසාර මහ රජතුමාගේ මගධ රටේය. අවසානයේදී ඔවුන් අතරින් ආ යෝජනාව වූයේ භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවරට වැඩමවා ගත යුතු බවයි.

භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීමෙන් තුන් බිය නැති කරගත හැකි බැවින්, ඉක්මනින්ම රජවරුන් දෙදෙනෙක් විශාල බලකායක් සමඟ බිම්බිසාර මහරජතුමා මුණ ගැසී, මේ පවතින තත්ත්වය රජතුමාට අවබෝධ කරවා බුදුරජාණන් වහන්සේව විසාලා මහනුවරට වැඩමවා ගන්නට කටයුතු කළ යුතු බවත් ඔවුහු තීරණය කළහ.

ඒ අනුව ලිච්ඡවී රජ දරුවන් රාජකීය දූත පිරිස් තුටු පඬුරුත් සමඟ, බිම්බිසාර මහරජතුමා වෙත පිටත් කර යැවූහ.

ඔවුහු බිම්බිසාර මහරජතුමා මුණගැසී විසාලා මහනුවර රජ දරුවන් ගේ ඉල්ලීම දැනුම් දුන්හ. බිම්බිසාර මහරජතුමා ඔවුන්ව බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ. ඒ රාජකීය දූත පිරිස මහත් භක්තියෙන් බුදුරජාණන් වහන්සේට විසාලා මහනුවරට වැඩම කරන ලෙස ආරාධනා කළහ.

භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ ඒ ගැන සම්බුදු නුවණින් විමසා බැලූ සේක. එහිදී "විසාලා මහනුවරට වැඩමකර රතන සූත්‍රය දේශනා කිරීමෙන් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව පැතිරෙන බවත්, බුද්ධ දේශනාව අවසානයේ දී අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වන බවත් දැනගෙන" එහි වැඩම කරන්නට ආරාධනාව පිළිගත්හ.

ඉන්පසුව බිම්බිසාර මහරජතුමා රජගහනුවර සිට ගංගා නදිය දක්වා අතර සීමාව සරසමින්, භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්නට, මාර්ගය අලංකාර ලෙස සකස් කරන්නට විය. ලිච්ඡවී රජ දරුවන් ද තමන්ගේ රාජධානිය ඒ විදිහට අලංකාර කරන්නට විය. බිම්බිසාර මහරජතුමා නැව් දෙකක් එක්කර මණ්ඩපයක් තනවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකයන් වහන්සේලාට, එහි වැඩම කරන්නට ආරාධනා කළහ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය සමඟ එහි වැඩම කළ පසු එම නැව් දෙක සහිත මණ්ඩපය එගොඩ ඉවුරට ගමන් ගත්හ.

භාග්‍යවතුන් වහන්සේ නැවෙන් බසින්නට සූදානම් වන විට මුළු අහසම කළු කරමින් මහවැස්සක පෙර නිමිති ඇති විය. භාග්‍යවතුන් වහන්සේ විසාලා රාජධානියට අයත් මේ ගං ඉවුරට ශ්‍රී පතුල තබන විට පොකුරු වැසි වසින්නට විය. මුළු නගරය ම දණහිස පමණ වන තෙක් ජලයෙන් යටවෙමින් තැන් තැන්වල තිබූ මළකුණු ජලයට ගසාගෙන විත් ගංගා නදියට වැටී, මුළු මහත් විසාලා මහනුවර ම මළ කඳන් නැතිව පිරිසුදු විය.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් වැඩම කරමින්, යොදුන් තුනකින් විශාලා මහනුවර නගරයට වැඩම කළහ. භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරන මේ මොහොතේ ශක්‍ර දිව්‍ය රාජයා ප්‍රමුඛ මහේශාක්‍ය දෙවිවරු එහි රැස් වූහ. බලසම්පන්න මේ මහේශාක්‍ය දෙවිවරුන්ගේ රැස්වීමෙන් අමනුස්සයන් බොහෝ ප්‍රමාණයක් පලා ගියේය.

බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුල් වන දොරටුවේ වැඩ සිටිමින්, ආනන්ද තෙරුන් වහන්සේ අමතා,

 

"ආනන්දය මේ රතනසූත්‍රය ඉගෙනගෙන, බලි කර්ම උපකරණ රැගෙන, ලිච්ඡවී රාජ කුමාරයන් සමඟ විශාලා නගරයේ ප්‍රාකාර තුන අතර හැසිරෙමින්, මේ පිරිත දේශනා කරවයි." රතන සූත්‍රය ආනන්ද තෙරුන් වහන්සේට ඉගැන්වූහ..

ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්තරය අතට ගෙන එයට පැන් පුරවා, නගරයේ හැමතැනම වැඩම කරමින් රතන සූත්‍ර දේශනා කළහ.

එහිදී දෙවිවරු රැස් වන විට පලා නොගොස් කසළ ගොඩවල්, බිත්ති, ප්‍රදේශ ඇසුරු කරමින් සිටි ඉතිරි අමනුස්සයින්ද, සතර දොරටු වලින් පලා ගියහ. අමනුස්සයන් පලා ගිය මොහොතේම මිනිසුන්ගේ ශරීර ගතව තිබූ සියලු රෝගයන් නැතිව ගොස් සියලු මිනිසුන් සුවපත් විය. සුවපත් වූ සියලුම මිනිසුන් නිවෙස් වලින් එළියට විත් ආනන්ද තෙරුන් වහන්සේගේ පසුපසින් එකතු වී පැමිණෙන්නට විය.

බුදුරජාණන් වහන්සේ එම රැස්වීම් ශාලාවට වැඩම කළ අවස්ථාවේ එහි වැඩ සිටින විට ශක්‍ර දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟටම විත් ආරක්ෂාව සලසමින් සිටියහ.

ආනන්ද තෙරුන් වහන්සේ ද නගරයේ හැසිරෙමින් රතන සූත්‍රයේ දේශනාකර ආරක්ෂාව සලස්වා, විසාලා මහනුවර සුවපත් වූ නගර වැසියන් සමග රැස්වීම් ශාලාවට වැඩම කළහ. එම මොහොතේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් එම සියලු දෙනාටම රතන සූත්‍රය දේශනා කළහ. තවත් අංශු මාත්‍රයක කිසිදු දෝෂයක් ඉතිරි නොවී සියලු දෝෂයන් සහිතව තුන්බිය සහමුලින්ම නැතිව ගොස්, එතෙකින් විසාලා මහනුවර සියලු ආරක්ෂක විධිවිධාන කටයුතු සම්පූර්ණ වී අවසන් වන්නට විය.

 

මෙතෙක් සඳහන් කළේ රතන සූත්‍රයට අදාළ අතීත සිදුවීමයි.

 

 

 

බුදුරජාණන් වහන්සේ තුන්බියට එදා දුන් එම විසඳුම වර්තමාන කෝවිඩ් වසංගතයට ගැළපෙන්නේ නැද්ද?

 

එදා තුන්බියට බුදුරජාණන් වහන්සේ දුන් විසඳුම වූ රතන සූත්‍ර දේශනාව අද දේශනා කළාට කෝවිඩ් වසංගතය අවසන් වන්නේ නැත්තේ ඇයි යැයි බොහෝ දෙනා අසති. එයට පිළිතුර වන්නේ, වර්තමානයේ දී පවතින වසංගතය අතීතයේ පැවති ආකාරයේ තුන් බියක් නොවන බවයි.

වර්තමානයේ දුර්භික්ෂයක් ඇති වූයේ නැත. මේ රත්තරන් අහසින් යල මහ දෙකට නිසි වේලාවට වැස්ස ලැබේ. මේ රත්රන් පොළොවේ මේ වෙලාවේ මොන වර්ගයක් හිටෙවුවත් හරිම අපූරුවට පැළවේ.

ඒ දේවල් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් හැරෙන්නට ස්වභාව ධර්මයාගේ වැස්ස නොමැතිකමක් ඇති වී, දුර්භික්ෂයක් ඇති වෙන කිසිදු සලකුණක් පෙනෙන තෙක් මානයක නැත.

සතර දෙසින්ම පින්බර මහා සඟරුවන වැඩ ඉන්න මේ පින්බර රටේ, මුළු රටක්ම අමනුස්සයන් අරක් ගන්නා තත්ත්වයට පත්වන, අමනුස්ස බියක කිසිදු සලකුණක් නැත.

ඇත්තේ වසංගත රෝගී තත්ත්වයක් පමණි. එය කිසිදු ලෙසකින් කලබල විය යුතු කරුණක් නොවේ. නුවණින් කල්පනා කර නිසිලෙස කළමනාකරණය කරගත හොත්, මේ තත්ත්වය පාලනය කර ගන්නට මෙන්ම, මුළු රටම දියුණු තියුණු තත්ත්වයට පත් කරගන්නට ලැබෙන කදිම අවස්ථාවක්ද වේ.

වෙනදා මෙන් බාහිර රටවල් වලින් පැමිණෙන බලපෑම් ද, ඒ රටවල් වලත් තිබෙන මේ වසංගත තත්ත්වය නිසා යම්තාක් දුරකට අවම වී තිබේ . රට තුළ සංචරණ නීති පැනවිය හැකි නිසා, රාජ්‍ය පාලක පින්වතුනට කැමැති ලෙස රට පාලනය කර ගත හැකි වාතාවරණයක් ගොඩ නැගී තිබේ. දැන් කරගත යුතු වන්නේ මේ සියල්ල නිසි ලෙස කළමනාකරණය කර ගැනීම පමණී.

මේ රට ස්වභාව ධර්මයේ සම්පත් වලින් ඕනෑවටත් වඩා අධික පෝෂණයක් ඇති රටකි. කහ, කුරුඳු, බඩ ඉරිඟු, ගම්මිරිස්, මිරිස්, ඕනෑම වර්ගයේ පලතුරු වර්ගයක්, ඕනෑම ආහාර වර්ගයක් ආදී මෙකී නොකී ඕනෑම මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය දේවල් සෑම ගෙවත්තකම බිම් අඟලක් පාසා වවන්නට මේ රත්රන් මහ පොළොවේ පුළුවනි.

වසංගත තත්ත්වය පැතිරෙන්නේ මිනිසුන් මිශ්‍ර වී එකිනෙකා එකට ගැවසෙමින් කටයුතු කරන විටයි. එහෙත් මිනිසුන් තම තමන්ගේ ගෙවතු වල, කුඹුරුවල ගොවිබිම් වල තම තමන්ගේ දියුණුව උදෙසා, වගා කිරීම් වැනි කටයුතුවල යෙදුණ හොත්, විවිධාකාර නව නිපයුම් කළහොත්, ඒවා රෝගය ව්‍යාප්ත වන්නේ නැති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් , රාජ්‍ය මැදිහත්වීමකින් මිලදී ගෙන, අවශ්‍ය රටවල්වලට හෝ ඒ ඒ පුද්ගලයින්ට විකුණමින් නිසි ලෙස කළමනාකරණය කළ හොත්, වසංගත තත්ත්වය පැතිරෙන්නේ නැත. ඒ වෙනුවට රට තුළ ප්‍රබල සවිමත් ආර්ථිකයක් ඇති වේ . මෙය රතන සූත්‍රයෙන් කළ හැක්කක් නොවේ. මහජනයා පාලනය කරන පරිපාලනය විසින් කළ යුත්තකි.

දුර්භික්ෂයක් නැති , අමනුස්ස බියක් නැති එහෙත් වසංගත රෝග තත්ත්වයක් පමණක් ඇති මොහොතක එය නිසිලෙස කළමනාකරණය කරගෙන, ස්වභාවධර්මයාගේ ආශීර්වාදය ඉතා හොඳින් තියෙන මොහොතක , බලෙන්, වුවමනාවෙන්ම තමන් වෙත ඇද ගන්නා අනාගත දුර්භික්ෂ බියකට ඉඩ නොතබා, අනාගතය අමනුස්ස බිය කට ඉඩ නොතබා , තම තමන්ව ශක්තිමත් කර ගැනීමට නුවණැත්තන්ට අපූරුවට පුළුවනි. ඒ සඳහා මේ ලෝකයේ පවතින හොඳම ඉගැන්වීම වන බෞද්ධ ඉගැන්වීම මේ පින්බර රට තුළ ජීවත් වන රට වැසියන්ට නොමිලයේම ලැබී ඇත . බාහිර රටක ආදර්ශයක්. හෝ බාහිර ඉගැන්වීම් හෝ කිසිවක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ රටවැසියන් නිසි ලෙස කළමනාකරණය කරගෙන , වගා සංග්‍රාමයක් සහ නව නිපයුම් ක්‍රමවේදයක් යුහුසුළුව ක්‍රියාත්මක කරමින්, අනාගත තුන්බියකට, ඉඩ නොලැබෙන, පෙර සූදානමයි.

වර්තමානයේ රතන සූත්‍රය සජ්ඣායනා නොකළ යුතුද ?

රතන සූත්‍රය සජ්ඣායනා කළ යුතුම වේ. එවිට ඒ මහා බලසම්පන්න සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන් ශක්‍ර දිව්‍ය රාජයා ප්‍රමුඛ සතරවරම් දෙවියන්ගේ දෙවි රැකවරණ ආදිය නිරන්තරයෙන්ම මේ පුණ්‍ය භූමියට සහ රටවැසියන්ට ලැබේවි. කලට වැසි වසීවි. රාජ්‍ය පාලක පින්වතුනට නිසි රැකවරණය ලැබේවි . දියුණුවට අවශ්‍ය වන උපකාර සියල්ල ලැබේවි. ස්වභාවධර්මයා නිසිලෙස ක්‍රියාත්මක වේවි. ආර්ථිකය ශක්තිමත් කරගන්නා ක්‍රමවේදය තුළ සිටිමින්, නිසි ලෙස පරිපාලනය විසින්, වසංගත තත්ත්වය පාලනය කරගන්නට අවශ්‍ය වන සියලුම උපකාරය මහා බලසම්පන්න රතන සූත්‍ර දේශනාවෙන් නොඅඩුවම ලැබේවි.

කෙළ ලක්ෂයක් ලෝ සක්වළ පුරා රතන සූත්‍රයේ බලය නොඅඩුවම පවතී. බලසම්පන්න සම්පතක් තමන් වෙත තබාගෙන එය නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැතිකම රතන සූත්‍රයේ ඇති වරදක් නොවේ.

පවතින්නේ තුන් බියක් නොවේ. විසඳුම් දිය හැකි එක් බියක් පමණී. එයට ප්‍රතිකාරමය විසඳුමක් ලැබෙන තෙක්, සංචරණ සීමා සහ විසබීජ නැසීම් වැනි ක්‍රමවේද ඔස්සේ බුදුදහමේ ඉගැන්වෙන ආර්ථිකය ඉහළම තත්ත්වයකට පත්කර කර ගත හැකි සියලුම ක්‍රමවේද ප්‍රයෝජනයට ගෙන, වසංගත තත්ත්වය පැතිරෙන්නට ඉඩ නොතබා දුර්භික්ෂ අමනුෂ්‍ය බියකුත් ඇති නොවන තත්ත්වයට වග බලා ගත යුතු ය.

ස්වභාවධර්මයාගේ ආශීර්වාදය, මහා බලසම්පන්න බුදුදහමේ රැකවරණය, පින්බර රටක නුවණැති මිනිසුන් වාසය කිරීම, ශක්‍ර දිව්‍ය රාජයා සතරවරම් දෙවිවරු ප්‍රධාන සියලු දෙවියන්ගේ රැකවරණය, උතුම් බුදු දහම පිළිපදිමින් ගුණවතුන්ව නුවණැතියන් ව කටයුතු කිරීමේ ප්‍රයෝජන ආදී සියල්ල ඇති රටක, දැන් අවශ්‍ය වන්නේ රෝග බියට නිසි කළමනාකාරිත්වයක් පමණි. එය රතන සූත්‍රයටවත්, බුදු දහමටවත්, ස්වභාවධර්මයාටවත්, කළ නොහැකි ය. රෝගය පාලනය කරගෙන දියුණු වීමට, ඒ සඳහා නිසි දැනුමකුත් ඇති, බලයක් ඇති, හැකියාවකුත් ඇති අය විසින් කළ යුත්තකි. නොපෙනෙන බලවේග වලට අවශ්‍ය පිළිතුර රතන සූත්‍රය සජ්ඣායනා කිරීම ආදිය තුළින් දැනටමත් ලැබී ඇත.

 

තෙරුවන් සරණයි .

 

 

 

 

 

.

අනුශාසනාව

අතිපූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.