නිවසක බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ දේව ප්‍රතිමා තැබීම සුදුසුද?

ජුනි 16, 2021

 

නිවෙසක බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ දේව ප්‍රතිමා තැබීම සුදුසුද? නුසුදුසුද? ලෙස බොහෝ දෙනා විමසති. මේ ලිපිය ඒ පිළිබඳ විමසා බැලීමකි. පළමුව භාග්‍යවතුන් වහන්සේවත් දෙවිවරුන්වත් හඳුනාගත යුතු ය.

 

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. ඒ සඳහා ප්‍රඥාධික බෝධිසත්වයෝ ලෙස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, ශ්‍රද්ධාධික බෝධිසත්වයෝ ලෙස අෂ්ඨාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, විරියාධික බෝධිසත්ත්වයෝ ලෙස සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද පාරමිතා පිරිය යුතු ය. වාක් ප්‍රණිධානයන්, මනෝ ප්‍රණිධානයන් සම්පූර්ණ කළ පසුව නියත විවරණ ලබා අධිෂ්ඨාන කරගත් ආකාරයට පාරමිතා පිරිය යුතු ය. මේ කාලසීමාවේ කරගත් පින්කම් නිසා දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල සැරිසරන වාර ප්‍රමාණය සංඛ්‍යාවක් ලෙස කිව නොහැක. අවසානයේ මහා බෝධිසත්වයන් වහන්සේ නමක්, දෙතිස්මහා පුරුෂ ලක්ෂණද මුහුකුරා ගොස්, තව්තිසා දිව්‍ය ලෝකයෙන් චුත වී, පින්බර මෑණියන් වහන්සේගේ මව්කුස පිළිසිඳගෙන, ඉන් පසුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙති.

දෙවිවරු කියන්නේ එවැනි පිරිසක් නොවේ. දිව්‍යලෝක හයක් තිබේ. ඒ චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිත වසවර්තිය ලෙසයි. මේ දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබන්නට, සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී කුසල් ප්‍රමාණවත්ය. තවත් ලෙසකින් කිවහොත් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, ශ්‍රමදාන, ආදී යහපත් දේවල් ප්‍රමාණවත්ය. ඒ සිදුකරගත් කුසලයන්ගේ විපාක ලෙස මරණින් පසු දිව්‍ය ලෝක හයේ එකක උප්පත්තිය ලැබිය හැකි ය.

මිනිසුන් ලෙස සිටින අය, සතර අපාගතව සිටින අය, දිව්‍ය ලෝක වල සිටින අය, බ්‍රහ්ම ලෝක වල සිටින අය, තම තමන්ගේ කුසල් ඇත්නම් මරණින් මතු දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබයි. ඒ දෙවිවරු එහි සිටින කාලය පමණක් සිට, මියගියාට පසුව අකුසල් ඇත්නම් සතර අපායට හෝ කුසල් ඇත්නම් මනුෂ්‍ය භූමියෙහි හෝ දිව්‍ය භූමියක හෝ ධ්‍යාන උපදවා ගෙන ඇත්නම් බ්‍රහ්ම ලෝකයක හෝ උප්පත්තිය ලබයි. දෙවිවරු අතර වේවා! මිනිසුන් අතර වේවා! මගඵල ලබන්නට හැකි වන්නේ ත්‍රිහේතුක උප්පත්තියක් ලැබූ අයට පමණි. දිව්‍යලෝක යනු සදාකාලික ව සිටිය හැකි තැන්වත්, සියල්ලම කළ හැකි තැන්වත් නොවේ. ඒ ඒ දෙවිවරු විසින් කරගන්නා ලද පෙර කුසල විපාක අනුව බොහෝ සම්පත් විඳිමින්, මිනිසුන්ට වඩා උසස් සම්පත් විඳින භූමි දිව්‍යලෝක වේ.

ඒ ඒ දිව්‍ය ලෝක වල උපදින දෙවිවරුන්ට ඒ තැන්වල ජීවත්ව සිටිය හැකි ආයු කාල තිබේ. ඒ ආයු කාල අවසන් වූ පසුව ඔවුන් මැරී කර්මාණුරූපව සතර අපායෙහි හෝ සුගතියක උපත ලබයි. දිව්‍ය ලෝකවල ඉහළම දිව්‍ය ලෝකය පරනිම්මිත වසවර්තිය යි. ඒ පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ආයුෂය අපේ අවුරුදු වලින් නවසිය විසි එක් කෝටි සැට ලක්ෂයෙකි. නිර්මාණරති දෙවියන්ගේ ආයුෂය අපේ අවුරුදු වලින් දෙසිය තිස් කෝටි සතළිස් ලක්ෂයෙකි. තුසිත දෙවියන්ගේ ආයුෂය අපේ අවුරුදු වලින් පනස් හත් කෝටි සැට ලක්ෂයෙකි. යාම දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂය අපේ අවුරුදු වලින් දාහතර කෝටි හතළිස් ලක්ෂයෙකි. තාවතිංස දෙවියන්ගේ ආයුෂය අපේ අවුරුදු වලින් තුන්කෝටි හැට ලක්ෂයෙකි. චාතුර්මහාරාජිකයේ ආයුෂය අපේ අවුරුදු වලින් අනූ ලක්ෂයෙකි. මේ සියල්ලෝම කරගත් කුසල් කර්ම අනුව ම ඒ දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබයි. ඉහත දැක්වූ ආයු කාලය උපරිම ආයු කාලය වේ. දෙවියන්ගේ පරමායුෂ එතරම් කාලයක් තිබුණත් ඒ සියල්ලෝම ඒ උපරිම ආයු කාලය සිටින්නේ නැත. ඒ සියලු දෙවිවරුන් ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක යන මරණ ක්‍රම හතරින් එක් ක්‍රමයකින් මරණයට පත් වෙයි.

ඒ ඒ දිව්‍ය ලෝක වලට අධිපතිකම් කරන දෙවිවරු සිටී. තාවතිංස දිව්‍ය ලෝකයේ අධිපති කම් කරන්නේ ශක්‍ර දිව්‍ය රාජයා යි. ඔහු මනුස්ස ලෝකයේ සිටියදී තවත් මිතුරන් සමඟ ශ්‍රමදානාදී මහා පින්කම් කර ගත් අයෙකි. ඒ පින් බලයෙන් අද දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබා සිටී.

අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවැති කාලයේ සමගියෙන් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් අසමගි කරන්නට කටයුතු කළ දේවතාවියක් මරණින් මතු අවීචි‍යේ ඉපදී, අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුණ්ඩදාන තෙරුන් වහන්සේ ලෙස උපත ලැබී ය.

දෙවිවරු මිනිසුන් වූ ආකාරයත්, මිනිසුන් දෙවිවරු වූ ආකාරයත්, දෙවිවරු අවීචියේ උපන් ආකාරයත් ආදී බොහෝ කරුණු ත්‍රිපිටකය පුරා විහිදී පවතී. විශේෂයෙන්ම විමාන වත්ථුව, දේවතා සංයුත්තය ආදී ත්‍රිපිටකයේ බොහෝ තැන්වලින් දිව්‍ය ලෝක වල උපන් අය පිළිබඳව බොහෝ කරුණු දැනගත හැකි ය.

දෙවිවරු සම්බන්ධව සෙවීමේදී ත්‍රිපිටක අටුවාදිය ඔස්සේම කරුණු විමසා බැලිය යුතු ය. එවිට පෙනී යන්නේ දෙවිවරු කියන්නේ ලෞකික පිරිසක් බවයි. ඒ දෙවිවරු අතර ද්විහේතුක අය මෙන්ම ත්‍රිහේතුක අයද සිටී. භාග්‍යවතුන් වහන්සේ පහළ වීමෙන් පසුව ශක්‍ර දිව්‍ය රාජයා මෙන්ම බොහෝ දෙවිවරු අද මගඵල ලාභී දෙවිවරු වේ. මගඵල නොලැබූ දෙවිවරුද බොහෝ සිටී.

මාර්ගඵල ලැබුවත් නොලැබුවත් එම දෙවිවරු බුදුරජාණන් වහන්සේ හා සම මට්ටමකට පැමිණෙන්නට කිසිසේත් ම උත්සාහ කරන්නේ නැත. ඔවුන් එයට කැමැති නැත. ඔවුන් උත්සාහ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගොස් බොහෝ පින් දහම් කරගෙන සසරින් එතෙර වන්නටයි. ශක්‍ර දිව්‍ය රාජයා ඇතුළු දෙවිවරු මනුස්ස ලෝකයේ සිටින සිල්වතුන්ට ද වැඳ නමස්කාර කරයි.

තුනුරුවන් සරණ ගොස් ධර්මයේ හැසිරීමෙන් දෙව් මිනිස් සැප සම්පත් සියල්ලම ලැබිය හැකි වුවත්, වර්තමානයෙහි බොහෝ අනුවණ පිරිස් තුනුරුවන් සරණ නොගොස් දෙවියන් සරණ යන්නට උත්සාහ කරති. දෙවියන්ගෙන් පිහිට පමණක් ලබන්නට කටයුතු කරති. ඒ, මේ ජීවිත කාළයට ලැබෙන යාන වාහන, රැකීරක්ෂා, ධන සම්පත් ආදී සුළු දෙයක් ගැන කල්පනා කිරීමෙන් පමණි. ඔවුන් සසර ගැනත්, කර්මය ගැනත් දන්නේ නැති නිසා මුළු සසර ම සැපවත් වන වැඩ පිළිවෙළක හැසිරෙන්නේ නැත.

සසරම ධනවත් වන්නට, බලවත් වන්නට, සැපවත් වන්නට, ලෞකික සම්පත් වලින් ඉහළම සැප සම්පත් ලබන්නටත්, දිව්‍ය-මනුස්ස ආදී සුගති තැන්වල උප්පත්තිය ලබන්නටත්, අවසානයේ නිවන් දකින්නටත් තිබෙන උතුම්ම මාර්ගය ධර්මයේ හැසිරීම පමණී. ඒ හැර යාඥා කිරීමක්, කලන්නලව් කිරීමක්, ඉල්ලීමක් කළා යැයි කියා සියල්ලම දෙන්නට පුළුවන් කෙනෙක් නැත. දෙවිවරුන්ට පුළුවන්කම ලැබෙන්නේ ද, ඔවුන්ගේ සම්පත් විඳිමින් සිටීමටයි. සමහර දෙවිවරු ඔවුන්ගේ ශක්ති පමණින් මිනිසුන්ට සහාය දෙයි.

එම කරුණේදී මිනිසුන් දෙවියන්ගෙන් සහය ලබා ගැනීමේ වරදක් නැත. ජාතක පොත් වහන්සේ තුළ දෙවිවරු උදව් කළ අවස්ථා බොහෝමයක් හමුවේ. ත්‍රිපිටක අටුවා ටීකා ආදියේද බොහෝ තැන්වල දෙවිවරු මිනිසුන්ට උදව් කළ අවස්ථා හමුවේ. ධර්ම දේශනාවකට, පිරිත් දේශනාවකට, භාවනා කටයුතුවලට, බුද්ධ පූජාවට පෙර දෙවියන්ට ආරාධනා කර, ඒ පින්කම් කිරීමෙන් අනතුරුව දෙවියන්ට පිං අනුමෝදන් කිරීම කළ යුතුයි. එවිට පින් අනුමෝදන් වන දෙවිවරු පින් කළ ඇත්තන්ව ආරක්ෂා කරයි.

දෙවියන්ට පින්දීමත්, දෙවියන් සරණ යෑමත් දෙකකි. දෙවියන් සරණ යෑමෙන් ලෞකික ලෝකෝත්තර සැපය අහිමි වී යයි. එයට හේතුව මහනීය කුසල කර්ම කර ගන්නට තිබෙන මඟ අවුරා ගැනීමයි. ඒ වෙනුවට දෙවියන්ගෙන් ඉල්ලමින් ලෝභ මූල සිත් ඇතිව කටයුතු කිරීම නිසා එයට ලැබෙන්නේ අකුසල විපාකයකි. කළ යුත්තේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමයි. දෙවියන්ට පින් අනුමෝදන් කළ හැක්කේ පින්කම් සිදු කර ගත් පසුවයි. ඒ පිංකම් සිදුකර ගැනීමට හොඳම තැන තුනුරුවනයි. පෞද්ගලික දානමය පින්කම් අතර ඉහළම ආනිශංසදායක පින්කම වන්නේ බුද්ධ පූජාවයි. එම උතුම් බුද්ධ පූජා පින්කම් සෑම බෞද්ධයෙක් විසින්ම කර ගත යුතුය. නිවෙස් තුළ එම බුද්ධ පූජාව පූජා කරන භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ළඟම දේව ප්‍රතිමා හෝ පින්තූර තැබීමෙන් වන්නේ, ලෝකෝත්තර ලෞකික දෙක පටලවා ගැනීමකි.

එම නිසා සුදුසුම දෙය වන්නේ නුවණැති පින්වතුන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ළඟ දේව ප්‍රතිමා තැබීමෙන් වැළකීමයි. තමන්ගේ ගිහි ජීවිතයට උදව් උපකාර ලබාගන්නා, විශේෂයෙන් පින් අනුමෝදන් කරමින් කටයුතු කරන දෙවිවරු ඇත්නම්, ඔවුන් වෙනුවෙන් වෙනම ස්ථානයක කටයුතු කිරීම සුදුසු ය.

 

 

තෙරුවන් සරණයි


අනුශාසනාව
අතිපූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමාශාන්ති තපෝවනය,
පැල්වාඩිය, රත්නපුර.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.