අවලස්සන නමුත් ධනවත්ව ඉපදෙන්නේ ඇයි ?

සැප්තැම්බර් 22, 2021

 

කේන්ති ගැනීමේ ඇති බරපතළ කාරණය වන්නේ එයින් ඔවුන්ට රූපය අවලස්සන වී ඉපදීමට කර්ම ඇති පදම් සකස් කර දීම ය. අවලස්සන රූපයක් ඇතිව ඉපදීම විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට එක්තරා ආකාරයකින් ශාපයක් බඳු ය.

කාන්තාවන් බොහෝ විට සුරූපී කාන්තාවන් කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවක් හට ගැනීමේ යම් සම්භාවිතාවක් පවතී. නමුත් අවසනාවට එම ඊර්ෂ්‍යාව නිසා මතු භවයක තමන්ට තිබෙන මහේශාක්‍ය භාවය ද අහිමි වී විරූපී, පහත් මට්ටමේ අල්පේශාක්‍ය ජිවිත ලැබීමට අවැසි කර්ම සකස් කර ගනී.

 

මිශ්‍ර ගතිගුණ ඇති අයට බොහෝවිට එවැනිම මිශ්‍ර වූ විපාක ලැබේ. ඔබ වපුරන දෙයෙහි අස්වැන්න ඔබට පමණය. අන් කිසි අයකුට නොවේ. එමනිසා ඔබේ මතු ඉරණමෙහි නිර්මාතෘ ඔබමය.

 

මල්ලිකා බිසවගේ දෙවන ප්‍රශ්නය වූයේ අවලස්සනව නමුත් ධනවත්ව, මහේශාක්‍ය වී ඉපදෙන්නේ ඇයි කියාය. ඒ සඳහා හේතුව ලෙස අප සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළේ මෙයයි.

 

‘මල්ලිකාවනි, සමහර ස්ත්‍රීන් ක්‍රෝධ කරයි. බොහෝ සෙයින් කිපේ. සුළු දෙයක් කීවද ගැටේ, තරහ වේ, දැඩි වේ, ද්වේශය පහළ කරයි. එහෙත් ශ්‍රමණයකුට හෝ බ්‍රහ්මණයකුට හෝ ආහාරපාන, වස්ත්‍ර , පාවහන්, මල්, සුවඳ විලවුන්,සයනාසන, ආවාස, පහන් ආදිය දේ. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතින් වාසය නොකරයි. එනම් අනුන් ලබන්නා වූ ලාබ සත්කාර ගෞරව වන්දනා පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි, තරහ ඇති කර නොගනී. ඊර්ෂ්‍යාව නොබැඳ ගනී. එමනිසා ඒ පිරිස යම් දිනක ඒ ජීවිතයෙන් චුත වී යම් තැනක උපදී ද උපදී ද ඔවුන් අවලස්සනය, විරූපීය,දක්නට අප්‍රසන්නය, එහෙත් ධනධාන්‍ය යෙන් ආඪ්‍ය ය, මහාධනය ඇත, මහා භෝග සම්පත් ඇත. මහේශාක්‍ය ය.

 

අද සමාජයේ ඉහළ ප්‍රභූ පවුල්වල මෙවැනි කාන්තාවන් බහුල වශයෙන් දක්නට ඇත. ඔවුන් විසින් තම රූපය කෙසේ හෝ ඔප නංවා

 

 

 

ගැනීමට නොකරනා දෙයක් නැත. ඒ සඳහා රූපලාවණ්‍යාගාර සඳහා අති විශාල ධනස්කන්දයක් වැය කරයි. අප රටේ පමණක් නොව ලොව සියළුම රටවල පාහේ රූපලාවණ්‍යාගාර හිමියන් හට ලැබෙන අති මහත් ධනස්කන්දයෙන් වැඩි කොටසකට හේතුව වන්නේ මේ කොටසට අයත් ස්ත්‍රීන් නිසාය. මෙවැනි කාන්තාවන් බොහෝ විට සුරූපී කාන්තාවන් කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවක් හට ගැනීමේ යම් සම්භාවිතාවක් පවතී. නමුත් අවසනාවට එම ඊර්ෂ්‍යාව නිසා මතු භවයක තමන්ට තිබෙන මහේශාක්‍ය භාවය ද අහිමි වී විරූපී, පහත් මට්ටමේ අල්පේශාක්‍ය ජිවිත ලැබීමට අවැසි කර්ම සකස් කර ගනී.

 

මල්ලිකා දේවිය විසින් ඇසූ ඊළඟ ප්‍රශ්නය වන සමහර කාන්තාවන් සුරූපි,ලස්සන දුටු දුටුවන් පහදන පෙනුමකින් යුක්ත නමුත් දුප්පත්, අල්පේශාක්‍ය වී ඉපදෙන්නෙ ඇයි යන ගැටලුවට අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් පිළිතුර මෙයයි.

 

‘මල්ලිකාවනි, සමහර ස්ත්‍රීන් ක්‍රෝධ නො කරයි. නො කිපේ. කුමක් කීවද නො ගැටේ, තරහ නොවේ, දැඩි නොවේ, ද්වේශය පහළ නොකරයි. නමුත් ශ්‍රමණයකුට හෝ බ්‍රහ්මණයකුට හෝ ආහාරපාන, වස්ත්‍ර , පාවහන්, මල්, සුවඳ විලවුන්,සයනාසන, ආවාස, පහන් ආදිය නොදේ. ඊර්ෂ්‍යවෙන් යුක්ත සිතින් වාසය කරයි. එනම් අනුන් ලබන්නා වූ ලාබ සත්කාර ගෞරව වන්දනා පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි, තරහ ඇති කර ගනී. ඊර්ෂ්‍යාව බැඳ ගනී. එමනිසා ඒ පිරිස යම් දිනක ඒ ජීවිතයෙන් චුතවී යම් තැනක උපදී ද ඔවුන් ‘ලස්සනය, දර්ශනීයය, දුටු දුටුවන් පහදී, ඉතා ලස්සන වර්ණ සෞන්දර්යයෙන් යුක්ත ය. එහෙත් දුප්පත්ය, භෝග සම්පත් අල්පය,පහත් මට්ටමේ උපත් ඇත්තේ වේ.‘

මෙවැනි අය එදා මෙන්ම අද පවා සමාජයේ ඕනෑතරම් දක්නට අත. එදා අශෝකමාලාව සුරූපී වුවද ඉපදුනේ දුප්පත් කුල හීන පවුලකය. නමුත් එදා අශෝකමාලාවට රටේ රජතුමාගේ පුතා සමඟ විවාහ වීමට වාසනාව තිබුන ද අද කාලයේ සිටින සෑම අශෝකමාලාවකටම එම වාසනාව නැත. අදකාලයේ ඉතා දුප්පත් අසරණ පවුලක ඉතා සුරූපීව ඉපදුණහොත් සමහරවිට එම රූපය ම ඇයට සාපයක් වීමට වුවද ඉඩ ඇත. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වුව ද කිව හැකි යන්නේ අප විසින් වැපිරූ දෙයෙහි ම අස්වැන්න කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ භුක්ති විඳීමට සිදුවී ඇති බවය.

 

 

මල්ලිකා දේවිය විසින් ඇසූ ඊළඟ ප්‍රශ්නය වන සමහර කාන්තාවන් සුරූපි,ලස්සන දුටු දුටුවන් පහදන පෙනුමකින් යුක්ත ය. එසේම ධනවත්ව, මහේශාක්‍ය වී ඉපදෙන්නේ ඇයි කියාය, ඒ සඳහා හේතුව ලෙස අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශනා කළේ මෙයයි,

 

‘මල්ලිකාවනි, සමහර ස්ත්‍රීන් ක්‍රෝධ නො කරයි. නො කිපේ. මොන දෙයක් කීවද නො ගැටේ, තරහ නොවේ, දැඩි නොවේ, ද්වේශය පහළ නොකරයි. එසේම ශ්‍රමණයකුට හෝ බ්‍රහ්මණයකුට හෝ ආහාරපාන, වස්ත්‍ර , පාවහන්, මල්, සුවඳ විලවුන්,සයනාසන, ආවාස, පහන් ආදිය දේ. ඊර්ෂාවෙන් යුක්ත සිතින් වාසය නොකරයි. එනම් අනුන් ලබන්නා වූ ලාබ සත්කාර ගෞරව වන්දනා පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි, තරහ ඇති කර නොගනී. ඊර්ෂ්‍යාව බැඳ නොගනී. එමනිසා ඒ පිරිස යම් දිනක ඒ ජීවිතයෙන් චුත වී යම් තැනක උපදී ද ඔවුන් ‘ලස්සන ය, දර්ශනීය ය, දුටු දුටුවන් පහදී,ඉතා ලස්සන වර්ණ සෞන්දර්යයෙන් යුක්තය. එසේම ධනධාන්‍යයෙන් ආඪ්‍ය ය, මහාධනය ඇත, මහා භෝග සම්පත් ඇත. මහේශාක්‍යය ය.

 

මෙම පිරිසට අයත් අයනම් සමාජයේ සොයා ගැනීම ඉතා අපහසු ය. ඔබ හොඳින් බැලුවහොත් අප සමාජයේ වැඩිපුර දක්නට ඇත්තේ කුමන ආකාරයේ අය දැයි කිය ඔබට හොඳින් පෙනේවි බහුතරයක්දෙනා එතරම් ලස්සන ද නැත. අවලස්සන විරූපී ද නැත. පොහොසත් ද නැත. අන්ත දිළිඳු දුප්පත් ද නැත. මහා ඉහළ මහේශාක්‍ය ද නැත. එසේම අන්ත පහත් පවුල්වල ද ඉපිද නැත.. එයට හේතුව බොහෝ දෙනකුගෙ ඇති ඒ පොදු චරිත ස්වභාවයයි. එනම් විටෙක තරහ ද ගනී. විටෙක ඉවසයි. විටෙක දන් දේ. විටෙක ලෝභ කම් කරයි. ඔහොම වෙස්සන්තර වගේ දෙන්නේ කොහොමද කියා ඒවා සාධාරණීකරණය ද කර ගනී. විටෙක අන් අයට ඊර්ෂ්‍යා කරයි. විටෙක අනේ එක අතකින් මෙයාට මෙහෙම හරිගිය එක හොඳයි කියා ද කියයි. ඉතින් එවැනි මිශ්‍ර ගතිගුණ ඇති අයට බොහෝවිට එවැනිම මිශ්‍ර වූ විපාක ලැබේ. ඔබ වපුරන දෙයෙහි අස්වැන්න ඔබට පමණය. අන් කිසි අයකුට නොවේ. එමනිසා ඔබේ මතු ඉරණමෙහි නිර්මාතෘ ඔබමය.

මෙම සූත්‍ර දේශනාව අධ්‍යයනය කළ කල්හි අපට වැටහෙන්නෙ අප මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් නිර්වාණාවබෝධය සඳහා මෙන්ම ලෝක සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ සසර ගමන සුවපත්, යහපත් කිරීම අරමුණුකොටගෙන ද විවිධාකාර දේශනාවන් සිදුකර ඇති බව ය. එනම් ලෝක සත්ත්වයා හට යහපත පිණිස පවතින්නේ යමක් ද, ඒ සියල්ලටම අවැසි මාර්ගය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් ම දේශන කර ඇති බවයි. අපගේ ශාස්තෲන්වහන්සේ කෙරෙහි පැහැදීමට මෙයම හේතුවක් කර ගත හැකියි. එමනිසා මේ ලැබුණ දුර්ලභ ගෞතම බුද්ධ ශාසනය තුළ මෙලොව පරලොව ජීවිතය සැපවත් කරගැනීමටත් සදාකාලික රැකවරණය සකසා ගැනීමටත් අපි අදිටන් කර ගනිමු.

 

අනුශාසනාව

පූජනීය , තෙලගපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ