ගත සවිය වඩනා මතු දියුණ සදනා කොස්

නොවැම්බර් 26, 2018

කොස් යනු ශරීර සෞඛ්‍යය, ශරීර ශක්තිය මෙන්ම ශරීර සොබාව වර්ධනය කරන අද්විතීය ආහාරයක්.

සැබැවින්ම කොස් “ආහාර උල්පතක්” යැයි හැඳින්වුවහොත් ඔබ මා හා එකඟ වේවි. එතරම්ම කොස් ඵලයේ ආහාරමය වටිනාකම කියා නිමකළ නොහැකි තරම්.

කොස් මදුළු, ඇට, ඉරි, සිවිය, කොළ, දලු මෙන්ම පොලොස්, ඉදුණු ඵලය ආදී සියල්ලක්ම වාගේ ආහාර ලෙස මෙන්ම පානීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා කොටස්. ඉවතලන කොස් ඵලාවරණය පවා ගවයන් වැනි සතුන්ගේ ආහාරයක්. මෙලෙස සිතද්දී කොස් ගෙඩියේ අපතේ යන කොටසක් නැති තරම්.

මෙතෙක් අපි කතා කළේ කොස් ආහාරයට ගැනීමෙන් සිරුරට අත්වන පෝෂණීය ප්‍රතිලාභ ගැන පමණයි. අද අපි ඉන් එහාට යමින් ස්වයං රැකියාවක් වශයෙන් නැත්නම් ආදායමක් ලබාගත හැකි අයුරින් කොස් යොදාගන්නේ කෙසේදැයි යන්න ගැන සලකා බලමු. මෙය දිනක කෙතරම් ලාභයක් ගත හැකි ව්‍යාපාරයක් වනු ඇද්දැයි ඔබව පුදුමයට පත්කරාවි.

මාසික වැටුපකට නතු වී කරන රැකියාවට අප කෙතරම් නම් කැපකිරීමක්, මහන්සියක් දරනවා ද? මසක් තිස්සේ වෙහෙසීමෙන් ලබාගන්නා වේතනයෙන් සෑහීමකට පත්වන්නේ කීයෙන් කීදෙනා ද? එවන් තත්ත්වයක් හමුවේ නිවෙසේ සිටම සැලකිය යුතු ආදායමක් ලබාගන්නට හැකියාවක් ලැබේනම් කවුරු නම් අකැමැති වේද?

සංකීර්ණ ජීවන රටාවක් ඔස්සේ දුවන ඔබ, නිරතුරුව දවන ආර්ථිකයට අත්වැලක් සපයන්නට “කොස්” වලට හැකියාවක් පවතින බව ඔබ දැනගත හොත් පුදුම වේවි. වස විසෙන් තොර මේ ලක් දෙරණේ වැඩෙන “අරුම පුදුම ගස” ඔබව ඉක්මනින්ම ධනවතකු කරාවි. එහි යහගුණය වන්නේ ඔබ අතින් අලෙවි වන මේ අනර්ඝ නිෂ්පාදනය ශක්තිය වර්ධනයට, ලෙඩ රෝග සුවකිරීමට, පිරිපුන් රූසපුවකට මෙන්ම නිරෝගී අනාගත පරපුරකට දායාදයක් මිස කිසි විටෙකත් මිනිස් සිරුරට හානිදායක දෙයක් නොවන බැවිනි.

කොස් ස්වයං රැකියාවක් සඳහා යොදාගැනීම හොඳම ආදායම් මාර්ගයකි. තම සැමියාගේ ජීවන සටනට අත්වැලක් වීමට කැමැති ගෘහණියන්ට මෙය නම් සුබ ආරංචියකි.

මේ සඳහා උපදෙස් ලබාදීමට, නිරන්තරයෙන් අප හා අත්වැල් බැඳගෙන සිටින වර්තමාන කොස් මාමා ලලිත් මංජුල මහතා ද සූදානමින් සිටී. ඔබගේ ආරම්භක අවස්ථාවට සහභාගී වී ඔබව ධෛර්යමත් කිරීමට ද ඔහු බලාපොරොත්තුවෙන් සිටී.

කොස් කොත්තුව

අවශ්‍ය ද්‍රව්‍ය

 

සිහින්ව ලියාගත් අමුකොස් ග්‍රෑම් 250 ක්

ලීක්ස් ග්‍රෑම් 150 ක්

බී ලූනු ග්‍රෑම් 250 ක්

කැරට් ග්‍රෑම් 150 ක්

සුදුලූනු ග්‍රෑම් 20 ක්

ඉඟුරු ග්‍රෑම් 20 ක්

මිරිස් කුඩු ග්‍රෑම් 20 ක්

රම්ප කරපිංච ස්වල්පයක් ක්

ලුණු ස්වල්පයක්

පොල්තෙල් ස්වල්පයක්

කරඳමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු ස්වල්පය බැගින්

 

සාදන ක්‍රමය

පළමුව අමු කොස් ටික ස්ටීම් කරගන්න. ඉන්පසු කුරුඳුපොතු, කරඳමුංගු, කරාබුනැටි වංගෙඩියේ කොටා ගන්න. ඉඟුරු, සුදුලූනු වෙනම තළාගන්න. කැරට්, ලීක්ස් සිහින්ව කපා පසෙකින් තබන්න. ඉන්පසු පොල්තෙල් ළිප තබා ඉඟුරු, සුදුලූනු රන්වන් පාට වනතුරු බැදගන්න. එයටම කරපිංචා ද එක්කරන්න. ඉන්පසු මිරිස් කුඩු එක්කර ලීක්ස්, කැරට්, බී ලූනු ද දමා ඒවා තෙම්පරාදු වන විට කොස් ටික ද එක්කරන්න. ඉන්පසු අවශ්‍ය පදමට ලුණු එක්කර හොඳින් කලවම් කරගන්න. දැන් රසවත් මෙන්ම පියකරු කොස් කොත්තුවක් ඔබ අතින් නිමවී අවසන්.මෙලෙස තමාට අවශ්‍ය ප්‍රමාණය අනුව කොස් කොත්තු සාදා ගත හැකියි. මෙය බොහෝ දෙනා පි‍්‍රයකරන වස විසෙන් තොර සමබල ආහාරයක් වීමම ඔබ වෙත පැමිණෙන සේවාදායකයින් ප්‍රමාණය වැඩි කරාවි. සිරුරට අහිතකර වස විස මෙන්ම නොයෙක් රසායනිකයන්ගෙන් පිරුණු ක්ෂණික ආහාර පසුපසම එළවා රෝගීවන අනාගත පරපුර ඉන් මුදාගෙන, වස විසෙන් තොර දේශීය ආහාරයක් අලෙවිකර, නිරෝගිමත් අනාගත පරපුරක් බිහිකිරීමෙන් ඔබ අත්කර ගන්නා මහා පින ද ඔබට ලැබෙන අතිරේක ප්‍රතිලාභයකි. යහපත් කර්මාන්තයක යෙදීමෙන් ලබන ආත්මතෘප්තිය ද ඔබව නිරතුරුව සතුටින් තබාවි.

 

ස්වයං රැකියාවට අත්වැලකි කොස්

ස්වයං රැකියාවක් ලෙස “කොස්” කොත්තු සාදාගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි අද අපේ සුදානම. කාර්යබහුල ගෘහණියකට වුවද තම ගෙදර දොරේ, ළමුන්ගේ වැඩ නිමකර නිදහසේ මේ සඳහා යොමුවිය හැකි වීම ද මෙහි වාසියකි. ගමෙන්, නගරයෙන් මෙන්ම තම වත්තෙන් වුව ඉතා පහසුවෙන් සපයාගත හැකි කොස,් වස විසෙන් තොර නිසා බාල, ළමා, තරුණ, මහලු, ගැබිනි, කිරිදෙන මවුවරුන් ආදී ඕනෑම අයකුට ආහාරයට ගත හැකි වීම ද විශේෂත්වයකි. දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගත්තද අගුණයක් නොවේ.

උපදෙස්

අකලංක නිෂ්පාදන අධිපති

ලලිත් මංජුල සිල්වා

 

නාමලී ගමගේ