මාසෙකට ලක්ෂයකට වඩා උපයන්න පුළුවන්

ජනවාරි 23, 2019

ලොව නිර්මාණශීලී හැකියාව වෙනුවෙන් ඉඩකඩ අපිරිමිතය. අපගේ හැකියාව නිසි අයුරින් සංකලනය තුළින් එම නිර්මාණශීිලීත්වය වඩාත් ඔප මට්ටම් කළ හැකි වෙයි. රළු වූ මැටි පිඩකට පවා නිර්මාණශීලිත්වය තුළින් ජීවයක් එක් කිරීමට හැකියාව තිබේ.

පිළියන්දල ආර්. රත්නසීලි. තම නිර්මාණශීලි හැකියාව තුළින් ජීවිතය ජයගත් දිරිය මවක්. දේශීය දේ අගයන ඇය ජීවිතයේ සැඳෑ සමය ඉතාමත් සතුටින් ගත කරන පිරිපුන් කාන්තාවක්. දේශීය මැටි කර්මාන්තය හා මැටි නිර්මාණ සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ වුවත් එය පාරම්පරික සමාජයෙන් ඈත්වෙන යුගයක රත්නසීලි හා ඇයගේ දයාබර සැමියා නන්දසිරි මොරවක එය රැක ගැනීම වෙනුවෙන් කැපවී සිටින්නේ මහත් උනන්දුවෙන්. එම ප්‍රතිභාපූර්ණ හැකියාව තුළ මැවෙන මැටි නිර්මාණයන්ගේ පවතින කලාත්මකබව කෘත්‍රිමව තැනෙන විසිතුරු භාණ්ඩයකින් ලබන්නට බැරිබව අපට පසක් වූයේ ඔවුන්ගේ පිළියන්දල නිවෙසට පැමිණි විටමයි.

සාම්ප්‍රදායික රූකඩ කලාවේ වූ අනුරූපවලට අනුව නිර්මාණ යොදා ගනිමින් කළ විසිතුරු නිර්මාණ සැබෑම සුන්දරත්වයක් ගෙන දෙයි. නිවෙසේ කොටසක ඇත්තේ ඔවුන්ගේ දෑතින් මැවෙන මැටි නිර්මාණ කර්මාන්ත ශාලාවයි. ඉතාමත් උනන්දුවෙන් හා උත්සහයෙන් මෙම කර්මාන්තයේ යෙදෙන රත්නසීලි හා නන්දසිරි යුවළ තම දිරියෙන් ශක්තියෙන් ගොඩනැගූ එම නිර්මාණ චාරිකාව ගැන සඳහන් කළේ ඉතාමත් සතුටින්.

"අපි මේ කර්මාන්තය ආරම්භ කරලා අවුරුදු 20 කට වැඩියි. මෙම මැටි නිර්මාණවලට කියන්නේ මැටි වාස්තු නිර්මාණ. ඒ කියන්නේ මේ නිර්මාණ කරන්නේ සාමාන්‍යයෙන් සකපෝරුවේ නොවෙයි. අපි හදන ප්ලාස්ටඔෆ්පැරිස් අච්චුවකට මැටි පල්ප් එක වක්කරලා ඉන්පසුව සාමාන්‍ය ආකාරයට දර පෝරණුවක පිලිස්සීම කරනවා.

මේ කර්මාන්තය කරන්න පොඩ්ඩක් නිර්මාණශීලී හැකියාවක් තිබෙන්න ඕනේ. මම රැකියාව වශයෙන් කළේ ගුරු වෘත්තිය. විෂයක් ලෙස මැටි කර්මාන්තය පාසල් දරුවනට ඉගැන්නුවා. මගේ සැමියා සේවය කළේ පිඟන් සංස්ථාවේ. ඔහු අවුරුදු 28 ක් එම ආයතනයේ ප්ලාස්ට පැරිස් අච්චු සෑදීම කළා. අපි දෙන්නගෙම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන තමයි අපි මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. මගේ මහත්තයා ප්ලාස්ටඔෆ්පැරිස් අච්චු සාදන ක්‍රමය දන්න නිස ගෙදර පොඩියට වැඩ ටිකක් කරලා කඩවලට දැම්මා. අපට හිතා ගන්නත් බැරි තරම් ඉල්ලුමක් ලැබුණා.

2019/01/23 තරුණි බලන්න