කුෂන් කවර හැඩ කරනා දෙල් කොළ රටා

මාර්තු 20, 2019

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. ඔබට අප පසුගිය සතියේත් ෆෝක් ආර්ට් කලාවෙන් නිර්මාණයක් තිළිණ කළා.

මේ ගෙන එන්නේ දෙල් කොළ හැඩය වර්ණවත් කරන වර්ණ සංකලනයේ අපූරු රටාවකි. ආලින්දය සරසනා කුෂන් කවර හැඩ කරන්න කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 16x16 අමුරෙදි කොටසක්

බ්ලොක් කැපීම සඳහා ඇසිටික්

කාචයක්

පේපර් කටරයක්

ස්පොන්ජ් කැබලි

රෙදි පින්තාරු තීන්ත

(කොළ, කහ, තැඹිලි, රෝස, කළු)

නො: 02 රවුම් පින්සලක්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව දළ රූප සටහන 'ඇසිටික්' කාචය මත තීන්ත ආධාරයෙන් (රවුම් 02) පින්සලෙන් ඇදගන්න. වියලුණු පසු පේපර් කටරය ආධාර කර ගනිමින් එහි කොළයේ හැඩය සම්පූර්ණයෙන් කපා ඉවත් කරගන්න. (මෙහිදී එක් කොළ හැඩයක් ප්‍රමාණවත් වන අතර මෝස්තරයේ පිට අඟල් 2 ප්‍රමාණයක් එළියට ඉඩ තිබිය යුතුය. එවිට අනවශ්‍ය ලෙස තීන්ත රෙද්දේ නොගෑවේ) එලෙස සකසා ගත් පතරොම කුෂන් කවරයේ අපට අවශ්‍ය තැන් හි තබා හොඳින් රඳවා ගන්න. කුඩා ස්පොන්ජ් කැබලි ආධාරයෙන් පත්‍රවල කොළ පාට කොටස් පන්ච් කරගන්න. දැන් කහ වර්ණය හා තැඹිලි වර්ණය එකට ෂේඩ් වන ලෙස වර්ණ සංකලනය මනාව මතු වී පෙනෙන ලෙස වර්ණ ගන්වන්න. අනෙක් වර්ණය වන කහ හා රෝස පැහැයන් එම ක්‍රමයටම වර්ණ ගන්වන්න. පත්‍රයේ නාරටි සඳහා එක් පසක් රෝස වර්ණය ද අනෙක් පස කහ පැහැය ද 'කමා' හැඩයට වන් ස්ට්‍රෝක් ක්‍රමයට නො: 02 රවුම් පින්සලෙන් ඇඳගන්නා අතර අවසාන ලෙස එම පින්සලෙන්ම කළු භාවිත කර නිර්මාණය වඩා කැපී පෙනීම සඳහා එහි අවුට් ලයින් දමා නිර්මාණය අවසන් කරගන්න.

උපදෙස් ජාත්‍යන්තර ඇමරිකන් ෆෝක් ආර්ට්

මෝස්තර නිර්මාණ ශිල්පිනී

ඉරේෂා චතුරානි විජේසූරිය

2019/03/20 තරුණි පුවත්පත බලන්න.