ඉවතලන ප්ලාස්ටික් බෝතල් වලින් හැඩැති නිර්මාණ

අප්‍රේල් 10, 2019

ඉවතලන ප්ලාස්ටික් බෝතල් පරිසරයට විශාල හානියක් කරයි. මේ නිසා පරිසරය වගේම ජලයක් දූෂණය වෙනවා. එපමණක් නොවෙයි මේවා පිලිස්සීමෙන් වාතයත් දූෂණය වෙනවා.

අද වන විට මේ ප්ලාස්ටික් බෝතල් නිසා සතුන්ටත් මරණ තර්ජන එල්ලවෙන්න පටන් අරන්. එයට විසඳුමක් විදිහට ප්ලාස්ටික් බෝතල්වලින් කළ හැකි නිර්මාණ කීපයක් අවස්ථා

කීපයකදීම අප ඔබ වෙත ගෙන ආවා. අදත් අප ඔබට ඉදිරිපත් කරන්නේ මේ බෝතල්වලින් කළහැකි ඔබ මෙතෙක් නොදුටු නිර්මාණ පෙළක්.

බලන්න, මේ නිර්මාණ මොනතරම් සුන්දරද කියලා. තවත් දින කීපයකින් උදාවෙන අලුත් අවුරුද්දේ දී ඔබේ කෑම කාමරය, ආලින්දය හැඩ කරගන්න මෙවැනි නිර්මාණ අපූරුයි නේද? මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවෙස පිරිසුදු කරන විට ඉවත් කළ බෝතල් ටික එකතු කරගෙන මේ නිර්මාණ සිදු කරන්න ඔබටත් පුළුවන්. එවිට ඔබේ නිවෙසට කලඑළියක් ලැබෙනවා වගේම පරිසරය

දූෂණයවීමත් වලකිනවා.

 

දැන් අපි බලමු මේ නිර්මාණ සිදු කරන්නෙ කොහොමද කියලා. මේ සඳහා අවශ්‍ය වන්නේ

 

හොඳින් කැපෙන කතුරක්

ප්ලාස්ටික් බෝතල්

පේපර් කටරයක්

ජෙල් පෑනක්

බකට් කම්බි

උල් අඬුවක්

 

නිර්මාණය කිරීම

පළමුවෙන්ම ප්ලාස්ටික් බෝතලය ගෙන එහි දෙපස කටරයෙන් කපා ගන්න. ඉන්පසු ලැබෙන සිලින්ඩරාකාර කොටස කතුරෙන් කපන්න. ඡායාරූප දෙස බැලීමේදී එය ඔබට පැහැදිලි වේවි. දැන් රූප සටහනේ දැක්වෙන කොළ ඉත්ත වෙනත් කොළයක් මත පිටපත් කරගෙන එහි උඩින් කපාගත් බෝතල් කොටස තබා ජෙල් පෑනක් හෝ ප්ලැටිග්නම් එකක් ආධාරයෙන් උඩින් ඇඳගන්න. පසුව ඇඳගත් කොටස වටේට කපා කොළ ඉත්ත මතු කරගන්න. මේ නිර්මාණය සඳහා එවැනි කොළ ඉති 20 ක් පමණ අවශ්‍ය වේ.

 

දැන් කපාගත් කොළ ඉතිවලට අගට තරමක් දිගට කපාගත් බකට් කම්බි තබා බැඳගන්න. දැන් එම කොටස් එකට එකතුකර පොකුරක් ආකාරයට තබා ගැටගසා ගන්න. එය වාස් එකකට හෝ පෝච්චියකට සම්බන්ධකර නිර්මාණය අවසන් කරගන්න. එසේ කපාගත් තවත් ගස් කීපයක් ද මෙහි දැක්වේ.

 

2019/04/10 තරුණි බලන්න