නිවෙසේ සිටින ගෘහණියට බිම්මල් වගාව කදිම ආදායම් මාර්ගයක්

අප්‍රේල් 17, 2019

ස්වයං රැකියාවක නියැළෙන කාන්තාවක් නිවෙසෙහි ආර්ථිකයට පමණක් නොව රටටම අභිමානයකි. කාන්තාවක් ලෙස ඔබට ගෙදරක පැවරී ඇති දහසක් රාජකාරි මැද වුවත් ස්වයං රැකියාවක් අරඹන්න පුළුවන්.

ගෙදරක සිටින ගෘහණියකට ගෙදර දොරේ වැඩ කටයුතු අතරේ ලැබෙන විරාමයේදී අමතර ආදායමක් ලැබීමට බිම්මල් වගාව කදිම ආදායම් මාර්ගයකි. ඒ වගේම මේ ව්‍යාපාරය පහසුවෙන් අඩු වියදමින් ආරම්භ කිරීමට හැකිවීමත් ඉතා වැදගත්. කෙටි කාලයකින් අස්වැන්න ලබා ගත හැකි වගාවන් අතුරින් බිම්මල් වගාව ප්‍රමුඛස්ථානයක් ගනී.

බිම්මල් මේ තරම් ජනප්‍රිය, සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වීමට හේතු කිහිපයක්ම බලපානවා. මෙය ඉතා රසවත් පෝෂණීය ආහාරයක්. එමෙන්ම අතුරු ආබාධ හා රෝගාබාධ ඇතිවීමත් අවමයි. එමෙන්ම පහසුවෙන් වගා කළ හැකි අතරම වැඩි අස්වැන්නක් ද ලබා ගත හැකියි.

ලෝකයේ බොහෝ රටවල එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්ව යටතේ මියගිය හෝ දිරායමින් පවතින ශාක උපස්තර මත වැවෙන බිම්මල් රාශියකි. ලංකාවේ පවතින කෘෂිකාර්මික වගා රටාව නිසා කෙටි කාලයක් තුළ මෙය සාර්ථක අන්දමින් වගා කර ගැනීමට අවස්ථාව ලැබීම වාසනාවක්.

මෙහි විශේෂත්වය වන්නේ කෘමිනාශක වැනි දේ නොයොදා වගා කරන බැවින් මිනිස් සිරුරට අහිතකර බව අඩුවීමයි. මෙහිදී යොදා ගන්නේද සරල උපකරණ හා සරල තාක්ෂණයකි. එමෙන්ම අවුරුද්දේ ඕනෑම කාලයක වගාව ආරම්භ කළ හැකි වීම හා වර්ෂාව නිසා බාධා නොවීම අමතර වාසියකි. සීමිත

ඉඩකඩකින් වගාව ආරම්භ කළ හැකියි. තනිවම හෝ පවුලේ ශ්‍රමය පමණක් යොදා ගෙන වගාව පවත්වා ගැනීම ද කළ හැකියි. වෙළෙඳපොළ ඉල්ලීම ඒකාකාරීව පවතින වගාවක් නිසා හොඳ ආදායම් තත්ත්වයක් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.

වගා කළ හැකි ප්‍රභේද කිහිපයකි

බිම්මල් ප්‍රභේද රාශියක් තිබේ. ඒ අතරින් වගා කිරීමට වඩා සුදුසු වන්නේ අමෙරිකන් ඔයිස්ටර්, ඇඹලෝනි, බොත්තම් බිම්මල්, සූකිරි බිම්මල් යන ප්‍රභේදයන්ය.

මේ වර්ගවලින් අමෙරිකන් ඔයිස්ටර් හා අබලෝනි යන වර්ග දෙක බහුලව වගා කරයි. මේ වර්ග දිවයිනේ ඕනෑම පළාතක වගා කළ හැකි අතර බෝකර ගැනීමට ලබාගන්නා බීජවල සුලභතාවයක් ද ඇත. වගා මාධ්‍ය ලෙස ලී කුඩු භාවිත කිරිමේදී අරටු අඩු ගස්වල අලුත් ලී කුඩු භාවිත කළ යුතුයි. ඒ සඳහා අඹ, කොට්ටං, ලුණුමිදැල්ල, මාර, රබර්, සපු හා ඇල්බීසියා වැනි ශාක සුදුසුයි.

වගා මාධ්‍ය සැකසීම

ලී කුඩු අලුත් සහ වියළි ස්වභාවයෙන් තිබීම වැදගත්. ලී කුඩුවල ඇති විශාල කැබැලි අතින් අහුලා ඉවත්කර, හොඳින් හලා, පවනේ වියළා ගැනීම සිදු කිරීමෙන් මාස 05, 06 ක් පමණ කාලයක් ගබඩාකර තබා අවශ්‍ය වේලාවට භාවිත කළ හැකියි. වගා මාධ්‍ය පිළියෙල කිරීමට වියළි ලී කුඩු කිලෝ ග්‍රෑම් 20 ක් සඳහා සහල් නිවුඩු කිලෝ ග්‍රෑම් 2 ක්, අළුහුනු ග්‍රෑම් 400 ක්, මුං පිටි හෝ කඩලපිටි, නොඑසේනම් සමපෝෂ ග්‍රෑම් 200 ක්, මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 40 ක් සහ අවශ්‍ය පමණට ජලය අවශ්‍යයි.

මේ සඳහා ඕනෑම සහල් නිවුඩු වර්ගයක් භාවිත කළ හැකියි. මෙම සහල් නිවුඩු පෙනේරයකින් හලා සුදු සහල් ඉවත්කර අවුවේ වේළා ගැනීමෙන් කල් තබාගත හැකියි. සහල් නිවුඩු වියලා ගැනීමේදී ඒ සමඟ කොහොඹ කොළද මිශ්‍රකර වියලා ගැනීමෙන් කෘමි සතුන්ගේ ආසාදනවලින් ආරක්ෂා වේ.

ඉහත අමුද්‍රව්‍යන්ගෙන්, අවශ්‍ය ප්‍රමාණවලින් ගෙන සහල් නිවුඩු, සමපෝෂ හා අලුහුණු, ලී කුඩු සමඟ කලවම් කරන්න. මැග්නීසියම් සල්ෆේට්, වෙනම අඬු කෝප්ප එකක වතුර ප්‍රමාණයක දියකර එම ද්‍රාවණය වගා මාධ්‍යයට එක්කර වර්ග සියල්ල එකට මිශ්‍ර කරන්න. වගා මාධ්‍ය පිළියෙල කිරීමේදී ජලය ටික ටික ඉස මිශ්‍රණය පිළියෙලකර ගැනීම සිදුකළ යුතුයි. අවසානයේ මිශ්‍රණයේ ජලය ප්‍රමාණවත් පරිදි එක් කළානම් මිශ්‍රණයේ මිටක් අල්ලට ගෙන, හොඳින් මිටි මොළවා, නැවත ඇඟිලි දිග හැරිය විට මෙම මිශ්‍රණ ගුලිය කැබලිවලට වෙන්වී යා යුතුයි.

මෙසේ පිළියෙල කරගත් බිම්මල් මාධ්‍ය ගේජ් 200, අඟල් 7 ක් පළල පොලි ප්‍රොපිලීන් මලුවලට පුරවා සීල්කර ජීවානුහරණය කළ යුතුයි.

උපදෙස්

නිල්මිණි කුමාරි යටවර,

කෘෂිකර්ම උපදේශක, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.

2019/04/17 තරුණි පුවත්පත බලන්න.