සාම්ප්‍රදායික බතික් කලාවට ඉල්ලුම නැහැලු

ඒක ලොකු බොරුවක්
මැයි 29, 2019

පාට පිරුණු ලෝකයක ඇඳුම් විලාසිතා විවිධය. මෙම ඇඳුම් මෝස්තර විලාසිතා අතර බතික් මෝස්තර කලාව අපටම ආවේනික වූ ශිල්පයකි.

දිගු ඉතිහාසයක් ඇති අපේම බතික් කලාවට ලෝකය පුරාම ඇති ඉල්ලුම ද අති විශාලය. මෙම ඉල්ලුමට සරිලන මෝස්තර නිර්මාණය කිරීමේ ඇති බාධක රැසක් මැද අපගේ බතික් කලාවට ලෝකය පුරා ඇති ඉල්ලුම ඇදහිය නොහැකි තරම්ය.

එහෙත් සාම්ප්‍රදායික බතික් කලාව සඳහා ඇති ඉල්ලුම දවසින් දවස අඩු වෙමින් පවතින පසුබිමක අපේම බතික් කලාවක් හා කර්මාන්තයක් බිහි කිරීමද විශාල අභියෝගයකි. එහෙත් ශ්‍රී ලාංකික අනන්‍යතාව තුළ බිහිවන බතික් කලාවට ලෝකයේ ඇත්තේ විශාල ඉල්ලුමකි. අපගේ ගෘහණියන් තම නිවෙසේ සිට කරන ස්වයං රැකියාවක් ලෙසින් විශාල මුදලක් ඉපයීමේ හැකියාවක් ඇති මෙම බතික් කලාවට වර්තමානයේ තරුණියන්ගේ ද ඉල්ලුමක් පවතී. මෙම ඉල්ලුම හා බතික් කලාව නිවැරැදිව විද්‍යානුකුලව හැදෑරීමට නිසි මඟ පෙන්වීමක් ලබාදෙන ආයතනයක් නොවීම ද විශාල අඩුවක්ව පැවතිනි.

මෙම සියලු දේ හොඳින් අධ්‍යනය කළ මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණ අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය සමුද්‍රිකා විජයපාල මහත්මිය නිවැරැදිව බතික් කලාව පුහුණු කරන පාඨමාලාවක් ආරම්භ කරන ලද්දේ බතික් කලාව පිළිබඳ ප්‍රවීණයන් හා ආචාර්ය මණ්ඩලයක් සම්බන්ධකර ගනිමිනි. මෙලෙස ලංකාවේ මුල්වරට විශ්ව විද්‍යාලයක් මඟින් ආරම්භ කරනු ලබන බතික් කලාව මුල්ම පාඨමාලාව පිළිබඳ ඇය මුලින්ම ‘තරුණී’ට සඳහන් කළේ මහත් සතුටින්.

“බතික් කලාව කියන්නේ අපට උරුම වූ වටිනා ශිල්පයක්. මෙය අපේ හෙළ කලා ශිල්පයත් සමග බැදුණු කලාවක්. ඒ විතරක් නොවෙයි අපේ කාන්තාවන්ට තමුන්ගේ නිවෙසේ සිට කරන්න පුළුවන් වැඩි පිරිවැයක් නොමැති සරල ව්‍යාපාරයක්. මෙය තමුන්ගේ නිර්මාණාත්මක කුසලතාවය මත හොඳින් මුදල් උපයන්න පුළුවන් රැකියාවක්. නමුත් මේ වටිනා කලාව නිවැරැදිව විද්‍යානුකූලව ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් ආයතනයක් තිබුණේ නැහැ. මේ පිළිබඳ දැනුම ඇති පිරිස එය තවත් අයෙකුට නිවැරැදි අයුරින් පුහුණු කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ ගැන මම කාලයක් අධ්‍යනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ බතික් කලාව පිළිබඳ පාඨමාලාව අරම්භ කරන්න අවස්ථාව ලැබුණා.

පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණ විද්‍යා ආයතනය තමයි අපේ රටේ ඇඟළුම් ක්ෂේත්‍රය පිළිබඳ සම්පූර්ණ දැනුම ලබාදෙන ආයතනය. අපි එහිදී මේ ක්ෂේත්‍රය පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ මූලිකම දේ තමයි ඇඳුමක හෝ රෙද්දක් පිළිබඳ ලබාදෙන දැනුම. ඕනෑම ඇඳුමක හෝ රෙද්දක ආකර්ෂණය ලැබෙන්නේ එහි පෙනුමින්. ඒ සඳහා මඟ පෙන්වීමක් ලබාදෙන නිවැරැදි පුහුණුවක් අපගේ ආයතනය තුළින් ලැබෙනවා.

බතික් කලාවේ දැන් ඉල්ලුම වැඩියෙන්ම තියෙන්නේ යන්ත්‍ර මඟින් සකස් කරන බතික් නිර්මාණවලට. අපේ මෙම පාඨමාලාව පවත්වන්නේ සම්ප්‍රදායික බතික් කලාවට වෙනස් ආකාරයට. මෙහිදී අපි උගන්වන්නේ විද්‍යානුකූලව බතික් කලාවයි. මෙහිදී නිර්මාණ කලාව, විද්‍යානුකූල දැනුම, නවින තාක්ෂණය යොදාගනිමින් මෝස්තර නිර්මාණය කිරීමේ හැකියාව, සාම්ප්‍රදායික අපේ කලාව යන සියලු දේ සංකලනය කළ පාඨමාලාවක් තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ.

2019/05/29 තරුණි බලන්න