වර්ණවත් බැක් පැක් කීටෑග් එකක්

ජූලි 3, 2019

බැක්පැක් එකක් එහෙමත් නැත්නම් බඩු දාලා කරේ දාගෙන යන බෑගයක් කීටැග් එකක් ලෙසින් නිමකර ඇති ආකාරයයි මේ.

මෙය තරමක් විශාලව ගොතාගත්තොත් ඒ බෑග් එකටම ඔබේ වෙනත් යතුරු කැරලි, මුදල් එහෙම දාගෙන අරන් යන්න පුළුවන්. ඒවගේම ටිකක් ඉක්මනින් කීපයක්ම ගොතලා ළඟම බුක්ෂොප් එකට දැම්මොත් අතටත් මුදලක් හොයාගන්න පුළුවන්. හොඳීන් නිමා කළ හි මේ වගේ කී ටැග් එකක් රුපියල් 100ත් 150ත් අතර මුදලකට අලෙවි වෙනවා. එහෙනම් අපි ගොතමු.

බැක්පැක් එකට කොටස් කීපයක් හදාගන්න ඕනෙ. මූලික බෑග් කොටස, පියන කොටස, කී ටැග් එක රඳවන කොටස, කෝඩ් කොටස හා බෑගයේ පිටුපස හැන්ඩල් කොටස් දෙක. මුලින්ම බෑග් කොටස ගොතමු.

1) දම්වැල් හයක් ගොතා කුඩා රවුමක් සාදන්න. එම සිදුරට තනිපට පිරවිලි අටක් ගොතන්න. මෙහිදී ලිස්සන ගෙතුමින් සම්බන්ධ නොකරම සෑම වටයක් අවසානයේ දී ම ස්ටිච් මාර්ක් එකක් හෙවත් කුඩා සලකුණක් යොදාගන්න. මේ සඳහා ඔබට වෙනත් වර්ණයක වූල් කෑල්ලක් යොදා ගත හැකියි.

2) දැන් එක් සිදුරකට තනිපට පිරවිලි දෙක බැඟින් යොදා ගෙන අවසාන ගෙතුමට සලකුණ යොදන්න.

3) දැන් තුන්වැනි වටය සඳහා තනිපට පිරවිලි 1, 2, 1ලෙස ගොතා අවසාන ගෙතුමට සලකුණ යොදන්න.

4) සිව්වැනි වටය සඳහා තනිපට පිරවිලි 1, 1, 2, 1, 1, 2 ලෙස ගොතා අවසාන ගෙතුමට සලකුණ යොදන්න.

5) පස්වැනි වටයේ දී 1, 1, 1, 2, 1, 1, 1, 2 ලෙස ගොතා සලකුණ යොදන්න.

6) හයවැනි වටයේ සිට දහනවවැනි වටය තෙක් වට 14 ක් එක සිදුරකට එක බැඟින් තනිපට පිරවිලි ගොතමින් යන්න. සෑම වටයක් අවසානයේම සලකුණ යොදන්න අමතක නොකරන්න.

 

2019/07/03 තරුණි බලන්න