බතික් කලාවෙන් ජීවිතය වර්ණවත් කරගත් ශෂිකලා

සැප්තැම්බර් 18, 2019

වර්තමානයේ සාර්ථක දිවි පැවැත්මකට ආර්ථික ශක්තිමත් බව අංක එක වී තිබේ. එවන් සමාජයක වෙසෙන කාන්තා ඔබේ කාලය, ශ්‍රමය මුදල් වීම අතිශය ඵලදායි කරුණකි.

ඒ සඳහා ස්වයං රැකියාවකට යොමුවීම කාලෝචිතය. ඇත්තෙන්ම කාන්තා ඔබ ස්වයං රැකියාවක නිරත විය යුත්තේ ඇයි?

ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. නිවෙසේ දෛනික රාජකාරී, දරුවන් රැකබලා ගැනීම ආදී කටයුතු කරන ඇයට සැබෑම ශක්තිමත් හිතක් උරුමය. මේ ශක්තිමත් සිතට ස්වයං රැකියාවක් කිරීම බොහෝ පහසුය.

රටේ ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයක් දීම

රටේ ජයගහන ප්‍රතිශතයෙන් 53% ක් ඉක්මවා ඇත්තේ කාන්තාවන්ය. එවන් වාතාවරණයක දී ඇය ස්වයං රැකියාවකට යොමුවිම තුළින් රටට අත්කර ගත හැකි ප්‍රතිලාභ රැසකි.

රැකියා වියුක්තියට විසඳුමක්

අද අපේ රටේ ඇති ගැටලුවලින් ප්‍රධානම එකක් ලෙස රැකියා විරහිත භාවය හැඳින්විය හැකියි. එවන් පරිසරයක කාන්තා ඔබ ස්වයං රැකියාවකට යොමුවිම කදිම විසඳුමකි. එක් කාන්තාවක් යම් ස්වයං රැකියාවක නියැළේ නම් අනෙක් කාන්තාවන්ට ද ඒ ආශ්‍රිත රැකියා ගොඩනැගේ.

සමාජීය ගැටලුවලට විසඳුම්

කාන්තාවන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණදීමෙන් ඔවුන් නීතිවිරෝධී මාර්ගවලින් මුදල් ඉපයීමේ මාර්ග සොයා ගනු ඇත. මත්ද්‍රව්‍ය අලෙවිය, ගණිකා වෘත්තිය යන මේවායේ නියැළෙන්නේ එවැනි අසරණවූවන්ය. එහෙත් ස්වයං රැකියාවකට යොමු වුවහොත් එසේ වැරැදි මාර්ගවලට යොමු නොවනු ඇත.

නිර්මාණශීලී හැකියාව

කාන්තාවකට පුරුෂයාට සාපේකෂව සහජයෙන්ම නිර්මාණාත්මක කුසලතා හැකියාව පිහිටයි. එය කිසියම් ස්වයං රැකියාවකට යොමු කිරීම මඟින් ආර්ථික සවියක් කරගත හැකියි.

පවුලේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක්

සැමියා පමණක් රැකියාවෙහි නිරත පවුල්වල කාන්තාවන් ස්වයං රැකියාවක යෙදේ නම් ඔහුට සැබෑම අත්වැලකි. මෙලෙසින් කාන්තා ඔබ නිවෙසේ ගතකරන කාලය යම් ප්‍රයෝජනවත්, මුදලක් ලැබෙන දෙයකට යොමු කළ හැකි නම් එයින් ඔබට ලැබෙන මානසික තෘප්තිමත් බවද මෙතෙකැයි කිව නොහැකියි.

 

ස්තූතිය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා

(පර්යේෂණ හා සංවර්ධන)

ජානකී විජේසිරි

 

******************

ඇය ටිලානි ශෂිකලා ජයසිංහ. යන්තම්පලාව, කුරුණෑගල'ශෂී ලූම්ස්’ අත්යන්ත්‍ර සහ බතික් නිර්මාණ ව්‍යාපාරයේ හිමිකාරිණියයි.

තමන්ට එන අභියෝගවලට අභියෝග කරමින් ජීවිතය ජයගන්න වෙර දරන එක් දිරිය කාන්තාවකි. එනමුදු ඇය අද බොහෝ ඉලක්කයන් සපුරාගෙන අවසන්.

ගැහැනියක සතු වූ විවිධ භූමිකාවන් හමුවේ ඇය මුහුණ පෑ හැලහැප්පිලි එමටය. අද ඇගේ ජයග්‍රහණය ඔබට දිගහරිනුයේ ඔබේ දියුණුවට අත්වැලක් වනු පිණිසය.

“කුරුණෑගල මලියදේව බාලිකාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මා ඉන් සෞන්දර්යය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් එක්කම රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ රැකියාවකුත් ලැබුණා. කවදත් කාල කළමනාකරණයට හුරු පුරුදු වූ මා රැකියාව කරන ගමන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අතපසු නොවන ලෙසින් සිදුකර ගත්තා.

මේ මොන දේ කළත් මගේ හිත ගියේ කලා නිර්මාණවලට. මා අඳින ඇඳුමේ පැලඳුමෙත් විශේෂයක් තිබුණා. මට මේ හැකියාව ලැබුණේ මගේ අම්මාගෙන්. ඇයත් හොඳ ව්‍යවසායිකාවක්.

කාලයත් සමඟින් විවාහ දිවියට පිවිසුණා. අද වන විට මා සත් හැවිරිදි පුංචි පුතකුගේ මවක්. ඒත් මගේ ජීවිතයේ තිබුණු අත්වැල මට අහිමි වුණා. අපේ ජීවිතවල ඉරණම විසඳෙන්නේ අපට ඕන විදිහට නොවෙයි. මේ ධර්මතාවය මටත් පොදුයි. හිටිහැටියේම මගේ මව දැඩි ලෙස රෝගාතුර වුණා. පුංචි පුතාත් එක්තැන් වූ අම්මාත් බලාගැනීමේ වගකීම තනි මට පැවරුණා. රැකියාව මගේ හිතට හිසරදයක් වුණා.

ආර්ථික හයියක් නොතිබුණත් හිතේ හයිය අරන් මා රැකියාවෙන් අස්වී නිවෙසට ආවා. ඒ මගේ මවත් පුංචි පුතාත් බලාගැනීමේ වගකීම නිසාය. ඒත් ලෝකයේ කිසිම ගැහැනියක් අසරණ නොවූ තරමට මා එදා අසරණ වූවා. උදව්වට කෙනෙක් නැති වුණා.

මානසිකව අන්ත අසරණ වුණා. ලෙඩ ඇඳේ ඉන්න අම්මටත් හුරතල් පුතුටත් ඒවාට විසඳුම් දෙන්න ශක්තියක් නැහැ. එහෙත් අසරණව අඬ අඬා ඉන්නවාට වඩා මට හිතුණා ගෙදර ඉඳන්ම යමක් කරන්න. ඒ අනුව තමයි හෑන්ඩ්ලූම්, බතික් වගේ නිර්මාණ කරන්න පටන් ගත්තේ. මුලින්ම ඒවා අහල පහළ අයට අලෙවි කළා. ඉල්ලුම හොඳයි. හිතේ හයිය අරන් මම මේ ස්වයං රැකියාව දිගටම කරනවා කියලා හිතුවා. කරදරයක් නොවී ජීවත් වුණ මට දෙවියෝ ආශීර්වාද කළා.

කුරුණෑගල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉඡ්ච්) එකේ සහයෝගය ලැබුණේ මේ අතර. ඇත්තෙන්ම ඔවුන් අපේ ව්‍යාපාරික ගුණයට ජවයක් දෙනවා.

දුෂ්කරයි කියා මඟහැරි යාමට තිබූ මගේ ජීවිතයට යායුතු මඟ පෙන්වූයේ ඔවුන්. ව්‍යාපාර සැලසුම්, නිෂ්පාදනවල ගුණාත්මකභාවය, නව්‍ය තාක්ෂණික සේවාව, උපදේශන, වෙළෙඳපොළ, මුල්‍ය පහසුකම්, ව්‍යවසායක සංගම්, ප්‍රදර්ශන ගණනාවකට සම්බන්ධ වුණා. ඇත්තෙන්ම ඉඡ්ච් එකේ පසුවිපරමේ ශක්තියයි අද මගේ ජයග්‍රහණයත්.

කාන්තාවක සතු නිර්මාණශීලී හැකියා බොහෝයි. මගේ හැකියාව තව කෙනකුට බෙදා දීමට සූදානම්. එමෙන්ම 'ශෂී ලූම්ස්' වෙතින් රැකියා අවස්ථා ලබාදීමටත් මා සූදානම්.