නාස්ති කරන කාලය පවුලේ ආර්ථිකයට ශක්තියක් කරගනිමු

ඔක්තෝබර් 16, 2019

පාළුව කාන්සිය මකාගන්න ව්‍යාපාරයක් ඇරැඹු ඉරෝෂා

“මම ඉරෝෂා උඩගෙදර. පාසල් ගියේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයටයි. අපේ පවුලේ එකම දරුවා.

අම්මා, තාත්තාගේ ආදරය, සෙනෙහස නොඅඩුව ලැබුණොසේම කවදාවත් ආර්ථික අපහසුතාවක් දැනුණේ නැහැ. ගෙදර තිබුණ මේ වටපිටාවත් එක්ක උසස් අධ්‍යාපනය ලබාගත්තත් මට රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. මගේ විවාහයත් හරි ඉක්මනට සිදුවුණා. මගේ සැමියා රඹුක්කන දිනේෂ් උඩගෙදර. ඔහු වෘත්තියෙන් ගෘහ අලංකරණ ශිල්පියෙක්. අපේ විවාහය පෑහුණේ දෙදෙනාගේම තියෙන කලාත්මක හැකියාවක් එක්ක වෙන්නත් පුළුවන්.

කාලයත් එක්ක ජීවිතයේ ලැබෙන්න ඕන කාලයට හැමදේම පිළිවෙළක් ලැබුණා. මට කිසිදේකින් අඩුවක් තිබුණේ නැහැ.

එහෙත් වෘත්තියත් සමඟින් සැමියා කාර්යයබහුල වුණා. මට කිසිදා නොදැනුණ පාළුවක් කාන්සියක් දැනෙන්නට ගත්තා. මට හිතුණා රැකියාවකට යන්න.

උසස් අධ්‍යාපනයක් ලැබුවත් නිවෙසින් පිට රැකියාවකට යන්න මට මවුපියන්ගෙන් වගේම සැමියාගෙනුත් අවසරයක් ලැබුණේ නැහැ. මම නිතරම කල්පනා කළා. ඇතැම් වෙලාවට කලකිරීමකුත් ඇතිවුණා. මෙහෙම ඉන්නකොට තමයි මම හිතුවේ සැමියා කරන ගෘහ අලංකරණ කටයුතුවලට යම් තරමකින් හෝ උදවු කරන්න. ඇත්තෙන්ම ඒ සඳහා ඔහුගෙනුත් ආශීර්වාදය ලැබුණා. අපි දෙදෙනාගේම සුසංයෝගයෙන් අංක 138, කොළඹ පාර, කුරුණෑගල ලිපිනයේ ‘නේචර් හෝම්’ නමින් ගෘහ අලංකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හැකිවුණා. එන්න එන්නම ව්‍යාපාරය දියුණු වුණා.

මේ අතර මට මැහුම් කලාව පිළිබඳ ඇති හැකියාවෙනුත් ප්‍රයෝජනයක් ගත යුතුයි කියලා හිතුණා. මම උසස් පෙළ කරන කාලේ මගේ සුදු ගවුම මටම මසාගැනීමේ හැකියාව තිබුණා. ඒක මට මගෙ අම්මාගෙන් උරුම වූ දායාදයක්. කොහොමහරි මම මැහුම් කරන්න පටන් ගත්තා. අද ‘ස්ලැට්’නමින් පුංචි මැහුම් පාසලක් පවත්වා ගෙන යාම තරම් මා ඒ ශිල්පයත් දියුණු කර ගත්තා.

ඇත්තෙන්ම තරුණී පුවත්පත කියවන සුවහසක් කතුන්ට මා කිව යුතුම දෙයක් තියෙනවා. ඒ නිකරුණේ කාලය නාස්ති කරන්න එපා. ඕපදූප කතාවෙන් අත්මිදෙන්න, මිතුරු හමුව, ෆේස්බුක් අවශ්‍යයි. එහෙත් එහි සීමාව හොඳින් හඳුනාගන්න. මා මුලින්ම කී පරිදි මට ආර්ථික අපහසුතා දැනුණෙ නෑ. එහෙම කියලා මම නිකරුණේ පාළුවෙන් රූපවාහිනිය බලන්න ඇබ්බැහි වෙන ගෘහණියක් වුණේ නෑ. ඔබත් ඉන් මිදෙන්න. එතැනින් එහාට ගිය ලෝකය සුන්දරයි. තමන්ගෙ හැම අවශ්‍යතාවකටම සැමියාගෙන් මුදල් ඉල්ලන බිරිය එක්තරා අයුරකින් ඔහුට හිරිහැරයක්. එහෙම කරදරකාර චරිතයක් නොවීමට හිතට ගන්න. අද මා ස්වාධීනයි. ආදරණීය පුතුන් දෙදෙනකුගේ මවක්. සැමියාගේ ආදරයටත් පුතුන්ගේ සෙනෙහසටත් මැදිව සෙනෙහෙබර පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මැහුම් පාඨමාලා උපදේශිකාවක් ලෙසින් සුවහසක් කතුන්ට දිරිය අත්වැලක් වෙනවා. මේ මා ලැබූ හැකියාවත්, කැපකිරීමත්, උත්සාහයත් මතින් ගොඩනැගුන ලස්සන ජීවිතයයි.

මේ ගමනට මට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (ඉඡ්ච්) එක විශාල සහයෝගයක් ලබාදුන්නා. ඔවුන් ව්‍යාපාරයේ කළමනාකරණය පිළිබඳ, ව්‍යාපාර සැලසුම්, වෙළෙඳපොළ පහසුකම් පිළිබඳ දැනුම ලබාදුන්නා. ඉදිරියේ දී මගේ සන්නාම ප්‍රවර්ධන කටයුත්තක් කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහාත් ඉඡ්ච් එක මට උදවු කරනවා.

 

2019/10/16 තරුණි බලන්න