අපේ ගෘහණියන් රූපවාහිනියෙන් ඈත් වෙනවා නම් ඉක්මනින් දියුණු විය හැකියි

නොවැම්බර් 20, 2019

තුෂී’ස් ක්‍රියේෂන්ස් හිමිකාරිණිය

තුෂාරි

ජීවිතය ජයගන්න හිතාගෙන වසර ගණනක් තිස්සේ හදාරා කරගෙන ආ ශාස්ත්‍රය, වෘත්තීය නිර්ලෝභීව අතහැර දමන්නට හැමෝටම බැහැ.

ඒකට ලොකු හිතේ හයියක් තියෙන්නම ඕනේ. එහෙම කෙනෙක් අපට පසුගිය දා මුණ ගැසුණා. ඇය තුෂාරි ගංගා කුමාරි.

හැමෝම හිතන්නේ උසස් අධ්‍යාපනයක් ලබලා, ඉහළ වෘත්තියකට ගියොත් විතරයි සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නෙ කියලා.

මෙය වැරැදි මතයක්. මම කල්තොට කෘෂිකර්ම දෙපාරතමේන්තුවේ කෘෂි උපදේශකවරියක් ලෙස සේවය කළේ. මගේ සැමියා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මෙහෙම කියනකොට කාටහරි හිතෙයි රාජ්‍ය අංශයේ ඉහළ පෙළේ වෘත්තිකයන් වන අපි මොකට ද ස්වයං රැකියා කරන්නේ කියලා. ඇත්තටම මම නම් කියන්නේ ඕනම කෙනෙක් තමන්ගෙම කියලා දෙයක් කරනවා නම් ඒක අති සාර්ථකයි. කාල කළමනාකරණය, සමාජ වටපිටාව, පිළිගැනීම, ආත්ම තෘප්තිය, පෞරුෂත්වය මේ හැමදෙයක්ම 100% ක්ම ගොඩනඟා ගත හැකියි. ඕන කරන්නේ උනන්දුව සහ උත්සාහය පමණයි.

හැමෝම හිතන්නේ ස්වයං රැකියාවක් පටන් ගන්න ලොකු මුදලක් අතේ තියෙන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ වැරැදි මතයක්. මම කරන නිර්මාණ ගෙතුම් ආශි‍්‍රත ඒවායි. මේ නිර්මාණ කරන්න මුලින්ම නූල් කිලෝ එකක් ගත්තා. ඒකට ගියේ රුපියල් 150 යි.

ගෙතුම් කටු එතරම් මිලක් නැහැ. දැන් අවශ්‍ය ගෙතුම් ක්‍රමය. ඒක දන්න කෙනාට බෑග් එකක්, පාපිස්සක්, ටේබල් මැට් එකක් ගොතන්න රු. පන්සීයක්වත් වැය වෙන්නේ නැහැ. නිර්මාණයක් කර අවසන් වූ පසු එකේ වටිනාකම තමන්ටම තක්සේරු කළ හැකියි. ඇත්තටම රුපියල් දාහක් එක්දාස් පන්සීයක් වගේ මුදලකට අලෙවි කළ හැකියි. ඒකයි දැතේ කර්මාන්තයක තියෙන වටිනාකම.

මම මගේ වෘත්තියට සමුදී බ්4, නිල නිවෙස, සබරගමුව විශ්වවිද්‍යාලය, බෙලිහුල් ඔය ලිපිනයෙහිදීම තුෂී’ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදන සිදුකරනවා. නිවෙසේ වැඩ කටයුතු සියල්ලක්ම පිළිවෙළට ඉටු කරන සාර්ථක ගෘහණියක්. ඒ වගේමයි ආදරණීය දියණියකගේ සහ පුතකුගේ මවක්. ඒ දෙදෙනාම ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්. මේ වැඩකටයුතු අතර ඔවුන්ගේ ඉගෙනුමට අවශ්‍ය දැනුම, සහයෝගයත් මම ලබා දෙනවා. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ සැමියාට ඔහුගේ වෘත්තියට අවශ්‍ය මානසික සුවය නිවෙසේ වටපිටාව මා සකසා දී තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන සඳහා 2018 වසරේ සබරගමු වාණිජ මණ්ඩලයේ පැවැති තරගයකදී මා හොඳම ව්‍යවසායිකාව වුණා. ජාතික ශිල්ප සභාවේ පැවැති තරගාවලි කීපයකදී ඇගයීම් සම්මාන ලැබුවා.

මට මීට වඩා ලැබිය යුතු සාර්ථකත්වයක් නැහැ. ජීවිතය හරිම සරලව ගලාගෙන යනවා.

මගේ හැකියාව, දක්ෂතාවට අපූර්වත්වයක් එකතු කළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයයි. ඔවුන් මට අලෙවි ප්‍රදර්ශනවලට සහභාගී වන්නට අවස්ථාව උදා කළා. එයින් මට හොඳ වෙළෙඳපොළක් ලබාගන්නට හැකිවුණා.

මම කවදාවත් රූපවාහිනිය ඉදිරියේ වාඩිවුණ ගෘහණියක් නෙමෙයි. ඇත්තෙන්ම අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් නැහැ. අපි ලෝකය ගැන දැනගන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණයි. ඒ දැනුම මගේ නිර්මාණවලට අලුත් අදහස් ඇතිකරගන්න වටිනවා. රූපවාහිනිය ඉදිරියේ මිඩංගු වන කාලය එළවළු, පලතුරු, විසිතුරු මල් පැළවලින් මගේ ගෙවත්ත කල එළි කරන්න ප්‍රයෝජන ගත්තා.

ඇයගේ සාර්ථකත්වයේ රස රහස් ඔබට දිග හැරියේ ඔබේ හෙට දවස යහපත් වීම උදෙසායි. ලොකු මුදලක් ඇතැතිව, ලොකු සිහිනයක් වෙත පියනඟින්නට පෙර අතේ තියෙන පුංචි මුදලකින් හෝ යමක් ආරම්භ කරන්න. ඔබේ දියුණුව ඇත්තේ ඔබ තුළම බව එවිට ඔබට වැටහේවි.

 

2019/11/20 තරුණි බලන්න