‘Pearl Cake Crafts’ හිමිකාරිණිය ජනිතා

දෙසැම්බර් 25, 2019

ජීවිතේ තත්පර, විනාඩි, දවස් ගාණකට පෙරළිලා... අවුරුදු ගාණකින් ඉගිළුනාම අපි දුවන්න පුරුදු වන්නේ හුරුපුරුදු කාලසටහනකට.

පැය කීපයක් සතුටින් ඉන්න උත්සාහ ගන්න අපි ඇතැම් වෙලාවට කරන්නෙ ජීවිතය විඳවීමක්. ඒත් ඇත්තටම වියයුත්තේ ජීවිතය විඳීමක්.

මෙහෙම කිවුවට අද කීයෙන් කි දෙනාද සතුටින් ජීවත් වෙන්නේ. සැනසීමෙන් ජීවත් වෙන්නේ. අද ලෝකයේ ජීවත්වෙන්න යහමින් සල්ලි තියෙන්න ඕනේ. මුදල් බොහෝ දේවල් තීරණය කරන සාධකයක්. එවන් පසුබිමක ආර්ථිකයට ඔබේ දායකත්වය අතිශය වටී.

ඇත්තටම සතුටින් ජීවත්වෙන්න සල්ලි තියෙන්න ඕනේ. මගේ අම්මා කුලියට ඇඳුම් මැහුවා. දන්න කියන කාලේ ඉඳලම මාත් මහන්න ආසයි. මට බාල සහෝදරියක් හා සහෝදරයෙකුත් ඉන්නවා. ඒ නංගියි, මල්ලියි වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමකුත් මට තිබුණා. ඇඳුම් මැසීමෙන් පමණක් පවුලට ප්‍රමාණවත් මුදලක් හොයන්න බැරි බව මට වැටහුණා. මම ශෂිකා ද සිල්වා ශිල්පිනියගෙන් කේක් පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පසුව ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂ්‍යන්ති මදනායක යටතේ මේ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා.

මේ වනවිට මගේ සැමියා විදේශ ගතවයි සිටියේ. ඔහු නිරන්තරයෙන් මගේ හැකියා අගයනවා. එබැවින් ඔහු කීවේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් කරන ලෙසයි. ඒ අනුව මට හැකියාව තිබුණේ කේක් නිර්මාණ ශිල්පිය පිළිබඳවයි. මම මුලින්ම මගේ හිතවතුන්ට අවශ්‍ය පරිදි උපන් දින කේක්, විවාහ මංගල කේක් නිර්මාණය කළා. ඔවුන් ඉතා ඉහළින් මාව ඇගයීමට ලක් කළා. ඒ වගේම මට මගේ මහන්සිය වෙනුවෙන් මුදල් ලබාදුන්නා. ඒ ලැබුණු සහයෝගය මාව දිරිගැන්නුවා. ඒ වගේම 2000 වසර මගේ ජීවිතයේ හැරයුම් ලක්ෂ්‍යයකි. ඒ මට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එකතුවීමට ලැබීමයි.

 

 

2019/12/23 තරුණි බලන්න