කුමන බාධක ආවත් ඉලක්කය වෙත යාමට හිත් ශක්තිමත් කර ගනිමු

මැයි 6, 2020

කොරෝනා වසංගතය දිරියෙන් නැගී සිටින්නට ආශීර්වාදයක් කරගත් දිරිය කාන්තාව නිලුෂිකා උදයංගනී

අපි අභියෝග ජයගත හැකි ජාතියක් වන්නෙමු. වැටි වැටී නැගිටින්නට තරම් ධෛර්යය සම්පන්නය. කුමන බාධක ආවත් ඉලක්කය වෙත යාමට හිත් ශක්තිමත්ය. අපේ රටේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) හා බැඳි ව්‍යවසායක ව්‍යවසායිකාවන් බොහෝමයකි.

ලෝකයම මුහුණ දුන් කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රටේ කුඩා ව්‍යාපාර කරගෙන ගිය අයද දැඩි ආර්ථික අර්බුදයකට හසුවිය. එහෙත් එයින් පසුබට නොවී ශක්තිමත්ව නැගී සිටින්නට උත්සාහ ගත් දිරිය කාන්තාවකි මේ. ඇය නිලුෂිකා උදයංගනී. පන්නිපිටියේ කැවුම් කොකිස්.ඛ්ධථ ඇරැව්වල කැවිලි නිෂ්පාදන ව්‍යාපාරය ඇයගේය. මේ දවස්වල කැවිලි නිෂ්පාදන අලෙවි නොවන බැවින් ඇය තම පවුලේ ආර්ථිකය සවි කරගත්තේ මෙලෙසනි. ඇය වන් දිරිය කතුන් රටටම ආදර්ශයකි.

''අභියෝගවලට මුහුණදීම සහ අවදානම් දේවල් කිරීම මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැකි බව මම මීට වසර කිහිපයකට පෙර සනාථ කළ අයෙක්. විවාහයට පෙර රජයේ රෝහලක හෙදියක ලෙස රැකියාවක් කළ මම විවාහ වූ දිනම රැකියාවෙන් ඉවත් වීම මා කළ පළමු අවදානම් ක්‍රියාවයි.

 

එතැන් පටන් මට විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවුණා. නමුත් එයින් නොසැලී දේශීය කැවිලි ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය භාරගෙන එයින් ජයගන්නට හැකිවුණා. මාගේ සැමියා ද අභියෝගවලට මුහුණ දීමේ හොඳ ශක්තියක් ඇති අවදානම් හොඳීන් ජයගත හැකි අයෙක්. කොරෝනා වසංගතය අපේ රටටත් බලපෑම් එල්ල කිරීමෙන් රටේ කටයුතු නැවතෙද්දී අපේ ව්‍යාපාර කටයුතුත් නැවතුණා. 'කොරෝනා වෛරසයට' අපේ ගමන නතර කිරීමට නොහැකි වුණා. ලොවටම ව්‍යසනයක් වූ 'කොරෝනා වෛරසය' මාගේ පවුලත් අසරණ කිරීමට මාන බලමින් වැට අද්දරටම පැමිණියා. අපි ධෛර්යයෙන් හා බුද්ධිමත්ව පහර එල්ල කර එයින් ගොඩ එන්නට උත්සාහ ගත්තා. මෙවර සිංහල අලුත් අවුරුද්දට සහ '2020 ව්‍යවසාය ප්‍රදර්ශනය' ට සූදානම් වීම සඳහා පසුගිය මාර්තු 4 වැනිදා අපි රුපියල් ලක්ෂ තුනක පමණ සහල්, සීනි, තෙල් හා පොල් ඇතුළු අමු ද්‍රව්‍ය මිලදී ගත්තා . මාර්තු මස ඇඳීරිනීතිය ක්‍රියාත්මක වීමත් සමග ව්‍යවසාය ප්‍රදර්ශනය නොපවත්වන බව දැනුම්දුන්නා. ඒ වගේම මා විසින් කැවිලි සැපයීම සිදු කරන ප්‍රධාන හෝටල් ද සංචාරකයන් නොමැති නිසා වසා දමා ඇති බව දැන ගන්නට ලැබුණා. මේ නිසා අපට විශාල පාඩුවක් අලාභයක් සිදුවන්නට යන බව තේරුණා. නමුත් අපි කවදාවත් කිසිම දෙයකින් වැටෙන්නේ නැහැ. පසු දා අවදි වූයේ අලුත් අදහසක් ද සමගින්. අප නිවෙසේ ඇති ආහාර ද්‍රව්‍ය ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීමට සූදානම් කළා. අතින් ලියන ලද පත්‍රිකා ගෙයින් ගෙට ගිහින් බෙදා දුන්නා .

මුහුණු පොතේ " ම්චභථ ඬධඬඪඵ.ජධථ" පිටුව දකින පාරිභෝගික ජනතාව අපගේ සේවය අගයමින් අප ළඟ නොමැති භාණ්ඩ ඇණවුම් කළා. අපි තොග වෙළෙඳ සල්වලින් භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳ පොළ මිලට ම නිවසටම ගොස් ලබා දීමට සූදානම් වූවත් වෙළෙඳාම සඳහා අවශ්‍ය අවසර පත්‍රය ලබා ගැනීමට ගිය විට අදාළ අංශය එය ප්‍රතික්ෂේප කළා.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ භද්‍රා මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලයේ මැදිහත් වීමෙන් අවසර පත්‍රය ලබා ගැනීමට හැකි වීම අපට විශාල ශක්තියක් වුණා. මුහුණු පොතේ දේශීය කැවිලි පිළිබඳව ප්‍රචාරයක් සිදු කළා. ලබාදීමට නොහැකි තරම් ඇණවුම් ලැබුණා. ඊළඟට සේවකයින් ගෙන්වා ගැනීම පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වුණා. තරු පන්තියේ හෝටල් ද නිවසටම පැමිණ කැවිලි ලබා ගැනීමට එකඟ වුණා. ඒ අනුව අපි හැම දෙනාගේම කැවිලි ඇණවුම් ලබා දුන්නා. මෙවර සිංහල අලුත් අවුරුද්ද සේවකයින් නොමැතිව මා මාගේ සැමියා සමග එක් වී කැවුම් කොකිස්වලින් හැඩ කළා .ගොඩක් මහන්සි වෙලා නිදිවරලා සතුට ළඟා කරගත්තා. රජයේ ආධාර, සහන මලු ලබා දෙන තුරු සිටියේ නැහැ. මුහුණු පොතේ ආධාර සපයන ආයතන සමඟ එක් වී ගමෙහි අසරණ වූ පවුල්වලට වියළි ආහාර ලබා දුන්නා. අපිත් හැකි අයුරින් පවුල් කිහිපයකට උදවු කළා .

පාසල් නිවාඩුව දරුවන් එක්ක ඉන්න කාලය ගොඩක් තියෙනවා. අපි දෙන්නා එකතු වෙලා දරු දෙදෙනාට මිදුලේ අඹ ගස උඩ පුංචි පැලක් හදලා දුන්නා.

අපගේ වස විසෙන් තොර ආහාර රසවිඳී පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව ආප්ප, කොත්තු වැනි පිසූ ආහාර ලබාදීමත් සිදු කරනවා. විවේකයක් ලැබුණු අවස්ථාවලදී ගෙවත්තේ වගා කටයුතුත් කරනවා.

ඉතින් මේ අවුරුද්දේ කොරෝනා වසංගතයත් එක්ක සටන් කරමින් හිතේ ශක්තිය උත්සාහය නිසා සතුටින් ගත කළා .

උනන්දුව, උත්සාහය, නව අදහස් තියෙනවනම් ව්‍යවසායකයකු කවදාවත්ම වට්ටන්න බැහැ. ගඟක් වුණත් ලස්සන සියලු බාධක ජයගෙන ඉදිරියට ගලද්දිනෙ. ඉතින් මායිම් දමා වැටවල් බැන්දත් අපි අපේ ගමන කොහොම හරි යනවා .

මෙම කාර්යය කරගැනීම සඳහා මට සහයෝගය දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමිය ඇතුළු සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට මෙන්ම කොළඹ දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන සංගමයේ නිලධාරි මහත්ම මහත්මීන්ටත් විශේෂ ස්තුතිය පුද කරමි. එමෙන්ම අපගේ සේවය අගයමින් භාණ්ඩ මිලදී ගත් සියලුම පාරිභෝගික ජනතාවටත් විශේෂ ස්තුතිය පුද කළ යුතුය .

ඉතින් හැම දෙනාටම කියන්නේ කොරෝනා නිසා මානසිකව අඩපණ වෙලානම් අදම අලුත් විදිහට හිතන්න. කොරෝනා වසංගතය අවාසනාවක් කියලා හිතන්න එපා. 'කළු වළාකුළුවල රිදී රේඛා' ගොඩක් තියෙනවා. කොරෝනා ආධාරකයක් කරගෙන නැගී සිටින්න සිතට දිරිය ගන්න. කොරෝනා අවසන්වී එළැඹෙන හෙට දිනයේ ඔබේ ජිවිතයේ නව පිටුවක් පෙරළන්නට ඔබට හැකි බව ලෝකයට පෙන්වන්න.