රටේ අවශ්‍යතාව අනුව මුඛ ආවරණ නිෂ්පාදනය කරමින් ජීවිතය දිනූ - අනූෂා

මැයි 20, 2020

ඇය අනුෂා ඉන්දු කුමාරි වර්ණකුල. මාතර උල්ලල කඹුරුපිටියේ පදිංචි ඇය ළදරු නිමි ඇඳුම් නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස සිදුකරන ව්‍යවසායිකාවකි. සුසිනිඳු බේබි නිෂ්පාදන නමින් ඔබ අතට පත්වන්නේ ඇයගේ හැකියාවෙන් නිම වූ ළදරු ඇඳුම් ය.

2012 වසරේ දී ආරම්භ කරන ලද මේ නිෂ්පාදන අලුත උපදින ළදරුවන්ටත්, ගර්භණී මාතාවන්ටත් අවශ්‍ය සියලු නිමි ඇඳුම් ඇතුළත් ය. මේ ලෙසින් ඇය දැඩි උනන්දුවකින්, කැපවීමකින් සිදු කරගෙන ආ නිෂ්පාදන වැඩිදියුණු කරගැනීම සඳහා මාතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නොමඳ සහයෝගය ලැබී තිබේ. ඇය සතු හැකියාව තව තවත් ඔප් නංවාලීමටත්, නිෂ්පාදන ගුණාත්මකව සිදු කිරීමටත්, මුදල් කළමනාකරණ, වෙළෙඳපොළ හඳුන්වා දීම ආදී අංශයන්ගෙන් අපූරු සහයෝගයක් ලැබී ඇත.

මේ සහයෝගය නිසාම ඇය ගර්භණී මවුවරුන් වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීමට වග බලා ගෙන ඇත. මුදලට වඩා සේවයක් ලෙසින් සිදු කිරීම ඇගේ බලාපොරොත්තුවයි. එබැවින් අඩු ආදායම්ලාභී මවුවරුන්, වෙනුවෙන් නොමිලයේ සිය නිෂ්පාදන පරිත්‍යාග කරන්නට තරම් ඇය කාරුණික වූවාය.

මේ අනුව 2019 වසරේ පරිසර හිතකාමී නිෂ්පාදන වෙනුවෙන් දකුණු පළාතේ විශිෂ්ටතම ව්‍යවසායිකාව ලෙසින් සම්මානනීය වන්නට තරම් ඇය වාසනාවන්ත විය.

ඇය පමණක්ම නොව මේ ලෙසින් ව්‍යාපාර සිදුකරගෙන යන සියලු දෙනාටම නොසිතූ අභියෝගයකට මුහුණ දෙන්නට විය. මුළු ලෝකයම පුරා කොවිඩ් - 19 වසංගතය හිස ඔසවද්දී කොයි කාගේත් සිහින බොඳ විය. ජීවන කර්මාන්තය ගොඩනගා ගන්නට බාධා මතුවිය. ආර්ථිකය කඩා වැටීම නිසා මූල්‍ය දුෂ්කරතා පැන නැගී ඇති අය බොහෝය. එහෙත් ඇය සැබෑම දිරිය කාන්තාවකි. ලොවක් මුහුණ දුන් අභියෝගය හමුවේ ඇය දැඩි අධිෂ්ඨානයෙන් හිතේ ශක්තියෙන් මුහුණ දුන් දිරිය කතාවයි මේ.

''මා ජීවන වෘත්තිය කරගත් ළදරු නිමි ඇඳුම් නිෂ්පාදනය මේ කාලයේ සිදු කළාට පලක් නොවන බව මා වටහා ගත්තා. එහෙත් එහෙම කියා නිවෙසට වී සෝ සුසුම් හෙළන්නට මට බැහැ. ඒකට මම සූදානම් නැහැ. මවක්, බිරියක් ලෙසින් මගේ පවුලට ශක්තියක් විය යුතුයි. නිවෙසේ සිටින අනෙක් සාමාජිකයන් කිසිවකුටත් රැකියාවක් සඳහා එළියට බහින්නට බැහැ. ගෙදර ආර්ථික අපහසුතාත් මතු වුණා. එවැනි තත්ත්වයක් හමුවේ මට යම් මුදලක් උපයන්නට අවශ්‍ය වුණා. ඒ සඳහාත් මගේ මැහුම් හැකියාවෙන්ම ප්‍රයෝජනයක් ගන්නට පුුළුවන් නේද කියලා සිහිපත් වුණා. ඒ අනුව රටේ කාලීන අවශ්‍යතාවයකට ඉඩ දුන්නා. ඒ මුඛ ආවරණ මැසීමයි. මුඛ ආවරණ මැසීමත් ආවාට ගියාට කරන්නට බැහැ. උසස් ප්‍රමිතියක් තිබිය යුතුයි. ඉහළ සෞඛ්‍යාරක්ෂිත බවකින් නිම විය යුතුයි. මේ කාලයේ අපේ රටේ අමු කහ, කොත්තමල්ලි අවශ්‍යතාවය ඉහළ ගියා. එබැවින් ඒවා අධික මිලක් වුණා. රටේ අහිංසක ජනතාවට දරා ගත නොහැකි තරමේ මිලක් වුණා. එම අමුද්‍රව්‍ය කළු කඩකාරයන් සඟවන්නට තරම් අකාරුණික වුණා.

2020/05/20 තරුණි පුවත්පත බලන්න