කොකිස් දහයක් විකුණමින් ස්වයං රැකියාවක් අරඹා සාර්ථක ව්‍යවසායිකාවක් වූ ප්‍රියානි

ජූලි 15, 2020

ජීවිතයේ ප්‍රාර්ථනා නිමක් නැහැ. හැම කෙනකුටම බලාපොරොත්තු පැතුම් දහස් ගණන්. අතීත ජනයා හිසට සෙවණක්, කුසට අහරක් ගැන හිතුවෙ සැහැල්ලුවෙන්. ඒත් වර්තමානයේ අපි එවැනි සරල දිවි පෙවෙතක් ගැන හිතෙන්නෙත් සැහැල්ලුවට.

දැන් යුගයේ අවශ්‍යතාව දෙමහල් හෝ තෙමහල් නිවෙසක්, ඉහළම ඉංග්‍රීසි අකුරක් කියැවෙන සුඛෝපභෝගී වාහනයක්. මේ ඉලක්ක කරා යන්න ඇත්තේ පුදුමාකාර තරගකාරීත්වයක්. මේ අසීමිත තරගය අතරේ අතරමං නොවී ඔබේ සිහින සැබෑ කරගන්න උත්සාහ ගත යුතුයි. ඔබත් රට යන පැත්තට නැත්නම් ලෝකය ගමන් කරන දිසාවට යා යුතුයි. ඒ සඳහා කළ යුත්තේ දුර දක්නා නුවණින් ද කටයුතු කිරීමයි.

මම මෙහෙම කළොත් මට යම් දවසක මේ ඉලක්කයට ළඟා විය හැකියි යන සිතුවිල්ලේ ගොස් අද වන විට ජීවිතය දිනාගත් මේ දිරිය කත අපට හමුවූුයේ බෙන්තර ගං තීරයෙන් එපිටදීයි.

ඇය මාතර, වේරගම්පිට පදිංචි ප්‍රියානි සමරජීවයි. මේ වන විට 'ගෝල්ඩන් ප්‍රඩක්ට්' නමින් තමාගේම කියා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. ඒ ගමන් මඟට ඇය අවතීර්ණ වී ඇත්තේ කොකිස් සාදා විකිණීමෙනි. සැබෑම පුදුමයකි. මුලින්ම කොකිස් දහයක් විකිණීමෙන් ස්වයං රැකියාවක් ඇරැඹූ ප්‍රියානි අද මාතර පුරවරයේ සාර්ථක ව්‍යවසායිකාවකි. මේ ඇගේ ධෛර්යයේ කතාවයි.

''මම දැන් පදිංචිය මාතර. මගේ උපන් ගම ගාල්ල. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. මම අ:පො:ස සාමාන්‍ය පෙළ කරන අවුරුද්දෙ මගේ තාත්තා නැතිවුණා. එය මට දරාගත නොහැකි වේදනාවක් වුණා. මගේ හැමදේටම හිටියේ අම්මා. ඒ වගේම අයියලා දෙන්නෙක් මට ඉන්නවා. තාත්තාගේ යුතුකම් සියල්ලක්ම අයියලා දෙන්නා ඉටු කළා. මට වැඩිදුර අධ්‍යාපනයට ගිය වියදම් සියල්ලක්ම කළේ මගේ අයියලා දෙන්නා.

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.