ඕපනිං එකේ දී ඩමියට දාපු සාරියට අදටත් ඇණවුම් එනවා

මංගල සාරි නිර්මාණ කලාවේ හත් වසරක අත්දැකීම් ලැබූ ඈන්
දෙසැම්බර් 9, 2020

 

"එදා වෙඩිං එකේ මනමාලි මාර සාරියක් ඇඳලා හිටියේ. ලොකු ගාණක් වෙන්න ඇති."

"ඒ බ්‍රයිඩ්ගේ ඔසරිය නම් නියමයි. මාර ලුක් එකක් තිබුණේ." "ලිහිණි ඇඳලා හිටියේ. අලුත්ම වර්ක් එකක සාරියක්.

පාටි එකට ඇවිත් හිටිය හැමෝම බැලුවේ එයා දිහා"මංගල උත්සවයකට, උපන් දින සාදයකට සහභාගි වූ කාන්තා ඔබ වැඩිපුරම කතා බහ කරන දෙබස් කිහිපයකි ඒ. එම දෙබස් හොඳීන් අධ්‍යයනය කළොත් එහිදී වැඩිපුරම කතාබහ කර ඇත්තේ මනාලිය හෝ මංගල උත්සවයට, සාදයට සහභාගි වී සිටි යුවතියක හෝ කාන්තාවක ඇඳ සිටි සාරි විලාසිතා ගැනයි. අලුත්ම විලාසිතා, මෝස්තර එකතුවුණු සාරි මිලදී ගැනීමට නම් ඔබ හපනියක්. ඒ ලස්සනට කැපී පෙනෙන ලෙස සාදයකට සහභාගිවීමට කාන්තා ඔබ කවදත් කැමැත්තක් දක්වන නිසා. එහෙත් කෙදිනකවත් එවැනි සාරියක් තමන්ගේම අතින් නිර්මාණය කර ගැනීමට උත්සාහයක් ගෙන තිබේද?

එවැනි සාරියක් තමන්ගේම අතින් නිර්මාණය කර එය තමන්ට ආදායම් මාර්ගයක් ද කර ගත හැකි බව ඔබ දැන සිටියේද?.

තරුණී ‘දිරියට සවියක්‘ විශේෂාංගය ඔස්සේ අද දිගහැරෙන්නේ එවැනි දිරිය කතක් පිළිබඳවයි.

ඇය ඈන් හේවා. සියනෑ පුරවරයේ උපන් ඇය සහජයෙන්ම නිර්මාණශීලී හැකියාවන් පෙළක් දෝත දරා උපන් අයෙකි. ඉවුම්-පිහුම් කටයුතු, ගේ දොර අස්පස් කිරීම, ගෙවතු අලංකරණය අතරට මැහුම් ගෙතුම්, අත්කම්, නිර්මාණ පිළිබඳවත් දැන සිටීම දියණියකට ආභරණයකි.

මේ හැකියාවක් තුළින් ජීවිතයට ආලෝකයක් එකතු කර ගන්නට ඇයට හැකිවී තිබේ. අද ඇය ආදරණීය බිරියක, සෙනෙහෙබර මවක මෙන්ම සමාජ සේවිකාවක ලෙසින් ද කටයුතු කරයි. ඒ කිසිවකු විසින් බන්දේසියක් මත තබා තිළිණ කළ වූවකින් නම් නොවේ. ඇගේ නිර්මාණශීලී හැකියාවත් අපරිමිත උත්සාහයත් මතිනි.

"මගේ අම්මා ගෘහණියක්. තාත්තා පෞද්ගලික ආයතන කීපයකම රැකියාව කළා. අයියලා දෙන්නයි, අක්කයි, මායි ජීවත් කළේ තාත්තා හම්බ කළ දෙයින්. ඉතිං අම්මා මනා සකසුරුවම් කමකිනුයි අපේ වැඩ කටයුතු සිදු කළේ. ඇයගෙන් උගත් ඒ සකසුරුවම්බව අදටත් මා සතුයි. අම්මා අපිව උස්මහත් කරන්න දැරූ උත්සාහය නිසාම මටත් මුදලක් ඉපයීම පිළිබඳ අවශ්‍යතාවක් ඇති වුණා.

මම පාසල් ගියේ ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයට. අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ මම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඉන්දිරා කොළඹගේ මහත්මිය යටතේ රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතර මට නිරූපණ ශිල්පිනියක් වීමටත් ආසාවක් ඇතිවුණා. ඒ සඳහා මට අවබෝධයක් නොතිබුණු නිසා මම පාඨමාලාවකට සහභාගි වුණා.

ඒත් මට රූපලාවණ්‍ය හා නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට හැකි වුණේ ඉතාම කෙටි කාලයයි. පෞද්ගලික ආයතනයක සේවය කරන රංග මනෝජ් වනිගසූරිය ගෙනා විවාහ යෝජනාවත් සමඟ මා ඔහු හා විවාහ වූවා. ඇතැමුන් කියන පරිදි විවාහයත් සමඟ මගේ ජීවිතයේ දෙවැනි උපත සිදුවූවා. ඒ මගේ සැඟවී තිබූ නිර්මාණශීලී හැකියාව ඔප්නංවා ගැනීමට හැකිවීමෙනි.

රංග මගේ නිර්මාණශීලී හැකියාව අගය කළා. ඒ හැකියාවෙන් යමක් කරන්න කියලා මාව දිරිමත් කළේ ඔහු. ඔහු මාගේ සියලු කටයුතුවලට අත්වැල් සැපයූවා. ඒ අනුව ප්‍රවීණ රූපලාවණ්‍ය හා සාරි නිර්මාණ ශිල්පිනී නදීකා පෙරේරා යටතේ සාරි වැඩ දැමීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට මම යොමුවුණා. අනතුරුව ක්‍රිස්ටල් සාරි නිර්මාණය පිළිබඳ ඉගෙන ගැනීම සඳහා කුරුණෑගල නගරයේ පැවැත්වූ පාඨමාලාවකටත් සහභාගි වුණා. මේ පාඨමාලා වලින් මම ලබා ගත් දැනුමින් මම සාරි කිහිපයක් නිර්මාණය කළා. මට සහජයෙන් ලැබිලා තිබුණු නිර්මාණශීලී හැකියාවෙන් මම නිර්මාණය කළ ඒ සාරි ඉතාමත්ම ලස්සනට නිම කරන්න මට හැකිවුණා. එම සාරි මම මිතුරියන් අතරේ අලෙවි කළා.

මගේ දුව ඔනෙකි රොෂෑන් වනිගසූරිය. ඇය මගේ කුස්සියේ සිටින විට පවා මම සාරි නිර්මාණයේ නියැළුණා. මුලින්ම මම නිර්මාණය කළේ සාමාන්‍ය උත්සව සඳහා ගැළපෙන සාරි වර්ගයි.

මම මංගල සාරියක් නිර්මාණය කළ පළමු දවස අද වාගේ මතකයි. ඒ සාරිය දැකලා ගම්පහ ධනංජය ෆ්ලෝරා අධිපති සමන් අයියා මට සාරි ෂොප් එකක් ආරම්භ කිරීමට දිරි දුන්නා. එදා ඒ නිර්මාණය කළ සාරියත් තව හිතවතුන් කිහිප දෙනකුගේ සාරිත් එකතුවෙන් ගම්පහ ඔනෙකි සාරි ක්‍රියේෂන් ආයතනය මා ආරම්භ කළා. එදා ඩමියේ දැමූ එම සාරිය අදටත් මගේ ආයතනයේ ඉදිරියෙන්ම ප්‍රදර්ශනයට තියලා තිබෙනවා. ඒ මට වාසනාව ගෙනාවේ ඒ සාරි නිර්මාණය නිසයි. අදටත් පාරිභෝගිකයන් මා වෙත ඇදී එන්නේ එම සාරිය නිසා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මගේ අතින් නිර්මාණය වුණු සාරියකින් සැරසී පතිකුලයට යන මනාලියක් දකින විට මට හරිම සතුටුයි.

රැකියාවක් නොකර නිවෙසේ කාලය ගත කරන කාන්තාවන්ට කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතනයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එහි තමන්ට කැමැති පාඨමාලාවක් හදාරන්නට අවස්ථාව තියෙනවා. ඉතිං ඔබටත් නිකරුණේ ගත කරන කාලය මුදල් බවට පත්කර ගත හැකියි. තම ශ්‍රමයෙන් යම් මුදලක් හම්බකරන කෙනෙක් සතු වටිනාකම, මිලකළ නොහැකියි.

පසුගිය කොරෝනා සමයේ අසරණවූවන් බොහෝ දෙනෙක් වෙනුවෙන් පුංචි බත් පැකට් එක බැගින් පුරා මාස දෙකක් මා ලබා දුන්නා. ඒ සඳහා තවත් පිරිසකගේ සහයෝගයත් මට ලැබුණා. එවැනි දෙයක් සිදුකිරීමට වුව ඉතිරි කරගත් මුදලක් තිබිය යුතුයි. ගැහැනු අපි සකසුරුවම්කමට හුරුවීමේ වටිනාකම එයයි.

මගේ සොයුරිය අනුෂ්කා හර්ෂණී 'හර්ෂී බියුටි සැලෝන්' නමින් ඉඹුල්ගොඩ රූපලාවණ්‍යාගාරයක් කරගෙන යයි. අප දෙදෙනාම දිරියෙන් නැගී සිටින දියණියන් වීමේ අභිමානයක් මගේ අම්මා සතුයි."