අම්මා මැහුම් පන්තියට සල්ලි දුන්නේ නොකා නොබී දුක් විඳලා

අසීමිත දුක් කරදර මැද ඇඳුම් මසා ජීවිතය ජයගත් රෂීමා අයිඩෲස්
දෙසැම්බර් 30, 2020

“මගෙ අම්මා පුදුමාකාර දුක් විඳපු ගැහැනියක්. ඇය විඳී දුක මම මේ ඇස් දෙකෙන්ම දැක්කා. අපේ තාත්තා කළේ කුලී වැඩ. මට බාල මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතිං අපි පස්දෙනා ජීවත් කරන්න ලොකු සටනක් ගෙදර තිබුණෙ. සමහර දවස්වලට තාත්තා දෙන දවසෙ වියදමෙන් අම්මා නොකා නොබී සල්ලි එකතු කළා.

එහෙම කළේ මාව තැනකට ගේන්න. ඒක මතක් වෙනකොටත් දුකයි. අපේ අම්මා මතක ඇති කාලෙක අලුත් ඇඳුමක් අරගෙන නැහැ. අණ්ඩ දාපු ගවුම් තමයි හැමදාම ඇන්දෙ. ඇත්තෙන්ම ඇය ලොකු කැපකිරීමක් කරල ධෛර්යයෙන් මුදලක් උපයන්න පුළුවන් තැනකට මාව ගෙනාවා.”

ඇය රෂීමා අයිඩෲස්. අද වන විට මැහුම් ගෙතුම් අත්කම් නිර්මාණ ඔස්සේ තම ජීවිතය ගොඩනගා ගත් තවත් එක් දිරිය ගැහැනියකි. ඇගේ ජීවිතේ සුවිශාල ශක්තිය නොසෙල්වෙන අත්වැල ඇගේ අම්මායි. නොකා නොබී ඇයව ජීවත් කළ යකඩ ගැහැනිය ඇගේ අම්මායි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් දිරිය කතක් පවුලට, රටට සම්පතකි.

රෂීමා මේ වන විට කොට්ටඋර, ඇඳ ඇතිරිලි, මේස රෙදි, එම්බ්‍රොයිඩරි නිර්මාණ, පැච්වර්ක්, මෙන්ම ඕනෑම කාන්තා ඇඳුම් විලාසිතාවක්, ළමා ඇඳුම් මෝස්තර හරි අපූරුවට මසන්නීය.

‘‘මගේ ජීවිත කතාව හරිම කටුක අත්දැකීමක්. මම අද යම් තැනක වේද එහි ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබිය යුත්තේ මගේ අම්මාට. මට මතකයි මම සාමාන්‍ය පෙළ විභාගය ලියපු වසර. ඒ කාලෙ අපිට තුන්වේල කන්න නැහැ. ඉතිං උසස් පෙළ විභාගය කරන එක මට සිහිනයක් වුණා. අකැමැත්තෙන් වුව පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියන්න වුණා. ඉන්පසුව මගෙ අම්මා මාව අතින් අල්ලාගෙන ගිහින් මොරටුව ෆැෂන් ඩිසයිනර් ඩිප්ලෝමාවක් සඳහා යොමු කළා. ඒ 1996 වසරේදී.

එය වසරක පාඨමාලාවක්. පුරා සතියේ දවස් පහේම ඉගැන්වීම් සිදු කළා. දිනකට ගාස්තුව රු. 900 ක්. අනේ මගෙ අම්මා මේ රුපියල් නවසීය මගෙ අතට දෙන්න නොවිඳීනා දුකක් වින්දා. තාත්තා කුලීවැඩක් කරලා අම්මා අතට දෙන කීය හරි අම්මා ඉතිරිකර ගත්තා.

මට බත් මුලකුත් බැඳලා දුන්නා. අම්මා මගෙ තනි නොතනියට පන්තියට ආවා. කොහොමහරි මේ පාඨමාලාවේ අවසාන භාගය වන විට මට නිවුමෝනියාව හැදුණා. මාව රෝහල් ගත කළා. විභාගයට මුහුණ දෙන්න බැරිවුණොත් මගේ අම්මගෙ මහන්සිය වතුරෙ යනවා. ඒත් මම අධෛර්මයත් වුණේ නැහැ. ඇඟට කොයිතරම් බැරි වුණත් සිත ධෛර්ය කරගෙන විභාගයට සහභාගි වුණා. යහපත්ව ජීවත්වන අයට වරදින්නෙ නැහැ. මම හොඳීන්ම විභාගය පාස් වුණා. ඒත් සමඟම අහල පහළ උදවියගේ ඇඳුම් මහන්න ඇණවුම් ලැබුණා. මුලින්ම රාමසාන් උත්සවය වෙනුවෙන් ඇණවුමක් ලැබුණා. එක ඇඳුමක් මහන්න කුලිය ගත්තේ රුපියල් 50 ක්. සම්පුර්ණ මුදල විදිහට රුපියල් 1000 ක් ලැබුණා. හරිම සතුටුයි.

ඒ මුදලින් තිර රෙදිඇණවුමකට රෙදි ගත්තා.තිර රෙදි මහලා ගත්තු මුදලින් කොටසක් අම්මා අතට දුන්නා. ඒ ගෙදර ජල විදුලි බිල් ගෙවන්න. ඒ විදිහට මම ටිකෙන් ටික අපේ ගෙදර බර කරට ගත්තා.

මේ අතර මගේ මස්සිනාගෙන් ආ විවාහ යෝජනාවෙන් මා ඔහු සමඟ විවාහ වුණා. ඔහුත් මගේ අම්මා වගේමයි. මට පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා. මේ කාලෙදි මට සිංගර් ඇකඩමියෙන් මැහුම් උපදේශිකාවක් වීමට ඇරයුම් ලැබුණා.

මේ මොන දේ වුණත් මම අදටත් මහන්නේ අම්මා මට ලබා දුන්න පරණ මැෂිමෙන්මයි. ලැබෙන ඕනෑම ඕඩරයක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය දිනයට ලබාදීමට මා සූදානම්. අද මගෙ සැමියාට පවුලේ ආර්ථිකයට මා ලොකු සහයෝගයක් ලබා දෙනවා. පුතුන් දෙදෙනකු සහ දියණියකගේ ආදරණිය මවක් වන මා ඔවුන්ගේ යුතුකම් ද ඉටුකරනවා.

තරුණී කියවන දැයේ සුවහසක් කාන්තා ඔබට මා උපදෙසක් ලබා දෙන්නම්. රූපවාහිනිය, ෆේස් බුක් එකට ඔබේ දවස ගෙවී යන්නට ඉඩ දෙන්න එපා. ඒවා දැනුම ලබා ගන්න පමණක් යොදා ගන්න. ඔබේ කාලය පවුලේ යහපත වෙනුවෙන්ම මිඩංගු කරන්න. දිනෙක ආපසු හැරී බලන විට සතුටු විය හැකි තැනක ජීවත් වෙන්න. උත්සාහවන්ත ගැහැනියකට පවුල සාමය සතුට රැඳී සොඳුරුතම තෝතැන්නක් කළ හැකියි.