උදේට ඉස්කෝලෙ ගියේ පාන්දර කුලී වැඩ කරලා

අත් යන්ත්‍ර මැෂිමෙන් ජීවිතය දිනූ පුත්තලමේ සුදීපා මංජරී
පෙබරවාරි 10, 2021

අද ඉන්න දරුවන්ට මොන තරම් සැප පහසුකම්ද? ඒත් මම පුංචි කාලයේ අපි හරියට දුක් වින්දා. මගෙ නම සුදීපා මංජරී. මම ඉපදුණේ මීගමුවෙ. මගෙ අම්මා තාත්තා දෙන්නම කළේ කුලී වැඩ. තාත්තා වැඩ කළේ අත් යන්ත්‍ර කම්හලක රෙදි වියන්නෙක් විදිහට. දවසකට රුපියල් 300 යි ලැබුණෙ.

අම්මත් කැලෑව වැවුණු ඉඩම් හෙළි පෙහෙළි කරලා දවසකට කීයක් හරි හොයා ගත්තා. මට බාල සහෝදරියොම හතර දෙනයි. ගැහැනු දරුවොම පස් දෙනෙක් කියන්නෙ අපේ අම්මාට තාත්තාට ලොකු බරක්.

පවුලේ වැඩිමල් දියණිය විදිහට මට එයාලා විඳින දුක බලා ඉන්න බැරිවුණා. අවුරුදු 10 ක් වගේ පුංචි වයසකදී මමත් අහල පහළ ගෙවල්වල කුලී වැඩ කරන්න ගියා. අපේ ගමේ තිබුණු එළවළු කොරටුවල එළවළු කඩන්න ගමේ ගෑනු අය ගියා.

ඒ අතරට මාත් එකතු වුණා. අනේ ඉතිං මට ලැබුණෙ රු. 5 යි. ඒ මම පුංචි නිසා වෙන්න ඇති.

ඒත් ඒ රුපියල් 5 ත් මට ලොකු දෙයක්. මේ විදිහට හැම පාන්දරකම රුපියල් 5 ක් හම්බ කරලා අම්මා අතට දීලයි ඉස්කෝලෙ ගියෙ. පස්සෙ මට තේරුණා රුපියල් පහකට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා.

තාත්තා මහන්සිවෙන හැටි දැක්කම මමත් කවදාහරි අත්යන්ත්‍ර වැඩපොළක් දානවා කියලා හිතාගත්තා.

මම දහයෙ පන්තියට විතරයි ගියෙ. කාලයත් එක්ක පාසල් ගමනට සමු දුන්නා.

අම්මා හදලා දුන්න කඩයප්පම් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් විකුණුවා. නංගිලා තරමක් ලොකු වෙද්දී එයාලට එයාලා ගැන බලා ගන්නට හැකි වුණා.

ඉන්පසුව මම අපේ ගමේම කෙනෙක් වුණ නිමල් පද්මසිරි සමඟින් විවාහ වුණා. ඒ වෙනකොට මට වයස අවුරුදු 19 යි.

ගෙදර ඉන්න කාලෙ ජීවත්වීම ගැන ලොකු අත්දැකීමක් පන්නරයක් ලැබුවා. එබැවින් සැමියාට පවුලේ ආර්ථිකය ගොඩනගන්න හොඳ අත්වැලක් සපයන්නට හැකියාව ලැබුණා.

ඔහු කළෙත් කුලී වැඩ. ඒ අතර මම ගෙදර කඩයප්පම් හදලා විකිණුවා. අපිට දරුවො තුන්දෙනෙක් ලැබුණා. ජීවිතේ වගකීම් තවත් වැඩි වුණා.

මෙහෙම ඉන්නකොට මට කල්පනා වුණා තාත්තා කුලියට ගිය අත්යන්ත්‍ර කම්හල ගැන.

එකතුකර ගත්තු පුංචි මුදලක් අතේ තිබුණා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සම්බන්ධ වෙලා ස්ව ශක්ති ණය ගත්තා. ඒ මුදලෙන් රෙදි වියන්න හැකි පරණ යන්ත්‍රයකුයි අවශ්‍ය බඩුයි මිලදී ගත්තා.

අනුන්ගෙ තැනක කුලී වැඩට ගිය තාත්තාව මම ළඟ වැඩට ගත්තා. මගේ තාත්තාට වුණත් මම වැටුපක් ලබා දුන්නා.

මේ විදිහට සාරි, සරොම් විවීම ආරම්භ කළා. මේ වෙනකොට මගේ අත්යන්ත්‍ර ව්‍යාපාරය ගොඩක් දියුණු කරගෙන තිබෙනවා.

අද පුත්තලෙම බස් එකකට ගොඩවුණාම මම වියපු ඇඳුම් ඇඳගෙන යන අය දුටුවාම පුදුම සතුටක් දැනෙන්නෙ. හරි හැටි කන්න අඳින්නවත් නොතිබුණ අතීතය මතක් වෙලා කඳුළු උනනවා. එදා හිටපු විදිහට අද මම ගොඩාක් සාර්ථකයි. මගෙ සැමියා දරුවො තුන් දෙනා එක්ක මම සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා. ඇත්තෙන්ම කම්මැලිකම මගෙ ජීවිතෙන් ඈත්කළේ පුංචි කාලෙදිමයි. මේ තරම් දුරක් ආවේ ඒ ශක්තියෙන්. ඒ නිසා මම කාන්තා ඔබට කියන්නෙ ජීවත් වෙන්න යමක් කරන්න හිතුණොත් ඒකට පසුබට වෙන්න එපා.

හිතේ විශ්වාසයෙන් ආරම්භ කරන දේට තමන්ගේ නිර්මාණශීලී බව එකතු කළාම එය දියුණු කරගන්න පුළුවන්.