වැට් ඩයි භාවිතයෙන් ටයි ඩයි ක්‍රමයට කුෂන් කවරයක් නිර්මාණය කරමු

පෙබරවාරි 17, 2021

මෙතෙක් අප ඔබට බතික් නිර්මාණයක් කර ගැනීමට වුවමනා මූලික කරුණු ඉදිරිපත් කළෙමු. අද පටන් ඔබට අප හා එක් වී විවිධ බතික් නිර්මාණ සකස් කර ගැනීමට මග පෙන්වීමට අදහස් කරන්නෙමු. ඒ අනුව අද අප ඉදිරිපත් කරන්නේ ද්වීතික බතික් ක්‍රමයේ පළමුවැනි බතික් ක්‍රමය වන ටයි ඩයි බතික් ක්‍රමය මගින් අලංකාර කුෂන් කරවරයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.

වර්ථමානයේ බහුලව භාවිතාවේ පවතින ජනප්‍රිය බතික් ක්‍රමයක් ලෙස මේ ටයි ඩයි ක්‍රමය හැඳින්විය හැකිය. මේ ක්‍රමය මගින් ඉතා පහසුවෙන් විවිධ ක්‍රම වලට ආකර්ශණීය වර්ණ අලංකාර බතික් රටා මතුකර ගැනීමේ හැකියාව ඇත. මේ සඳහා අද අප භාවිතා කර ඇත්තේ වැට් ඩයි වර්ගයි. මේ ක්‍රමයට කුෂන් කවර පමණක් නොව ඇඳ රෙදි, කොට්ටා උර, මේස රෙදි වැනි ගෘහ පිළි මෙන්ම ඔබේ ඇඳුම් ද අලංකාර කර ගත හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟල් 19ක් දිග අඟල් 19ක් පලල කුෂන් කවරයක් (මේ සඳහා ලංකාවේ නිෂ්්පාදනය කරන හෑන්ඩ්ලූම් රෙදි හෝ ඔබගේ කැමැත්ත අනුව ඕනෑම කපු රෙදි වර්ගයකින් මසාගත් කුෂන් කවරයක් භාවිතා කළ හැකිය)

ඩයි මේස හැඳි 2 ක් (අද අප යොදාගෙන ඇත්තේ වැට් ඩයි වර්ගයකි. මේ සඳහා ෆෝෂන් නැප්තෝල් ඩයි වර්ගයක් වුවද භාවිතා කළ හැකිය)

අත්වැසුම් 2 ක්

මුඛආවරණයක්

අයිස් කැට (කුෂන් කවරයට අවශ්‍ය වන පරිදි)

ඩයි සකස් කර ගැනීමට භාජනයක් (ප්ලාස්ටික් කෝප්පයක්)

හයිඩ්‍රො මේස හැඳි 2 ක්

කෝස්ටික් සෝඩා මේස හැඳි 2 ක්

කුඩා යකඩ දැලක්

බේසමක් (යකඩ දැල බේසම මතුපිට තැබු විට ඇතුළට නොවැටෙන ප්‍රමාණයේ)

නිර්මාණය කරන ක්‍රමය

පළමුව බේසම ගෙන එයට වතුර දමා කුෂන් කවරය හොඳින් ජලයේ පොඟවා වැඩිපුර ඇති වතුර ඉවත්කර ගන්න. (මිරිකා හරින්න) දැන් බේසම මතුපිට යකඩ දැල තබන්න. එම දැල මත පොඟවා ගත් කුෂන් කවරය හොඳින් දිගහැර තබන්න.

ඩයි එක සකස් කර ගැනීමට පෙර අත්වැසුම් මුව වැසුම් පැළඳ ගන්න. ඉන්පසුව ඩයි සකස් කිරීමට තෝරාගත් ප්ලාස්ටික් කෝප්පය හා ඩයි දිය කිරීමට ගත් හැන්ද සූදානම් කරගන්න. එම කෝප්පයට උණු වතුර මිලි ලීටර් 250 ක් දමන්න. එයට කෝස්ටික් සෝඩා මේස හැඳි 2 දමා හැන්දෙන් හොඳින් දියකරන්න. (අනිවාර්යයෙන් අත් ආවරණ මුව ආවරණ පැළඳගෙන ප්‍රවේසමෙන් ඩයි සකස් කරගන්න)

දැන් එම භාජනයටම හයිඩ්‍රෝ මේස හැඳි 2ක දමන්න. මෙයද ප්‍රවේසමෙන් කෝස්ටික් සෝඩා දියකරගත් ආකාරයට හැන්දෙන් දියකරන්න.

අවසානයේ ඩයි වර්ගයෙන් මේස හැඳි 2ක් ඉහත මිශ්‍රණයට එක්කර කැට ඉතිරි නොවන සේ හැන්දෙන් දියකරන්න. දැන් අපි ඩයි එක සකස් කර අවසන්.

දැන් දැල මත එලාගත් කුෂන් කවරය මත තැනින් තැන අයිස් කැට තබන්න. (1 ඡායාරූපය) දැන් එම අයිස් කැට මතට ඩයි දමන්න (2 ඡායාරූපය) ඩයි දැමු පසු මෙලෙස දිස්වේ. (3 ඡායාරූපය)

අවසානයේ (4 ඡායාරූපය) පෙනෙන පරිදි කුෂන් කවරය මත ඇති අයිස් කැට දියවන තුරු පසෙකින් තබන්න. අයිස් දියවුණු පසුව (5 රූපය ) පිරිසුදු ඇල් ජලයෙන් කුෂන් කවරය සෝදා (6 රූපය) කුෂන් කවරය මඳ පවනේ වියළා ගන්න. (හිරු එළිය නොවැටෙන තැනක තබා)

නිමවූ කුෂන් කවරය (7 රූපය)

(කෙනුරි බතික් යූ ටියුබ් චැනලය හරහා ද මෙම නිර්මාණය කරගන්නා අයුරු ඔබට අධ්‍යයනය කළ හැකිය )

 

පසුගිය සතියේ පලවූ බතික් පාඩම් මාලා ලිපියේ 3 වැනි බතික් ක්‍රමය ලෙස පලවූ ගෝෂන් බතික් ක්‍රමය ශෝෂන් බතික් ක්‍රමය ලෙස නිවැරැදි විය යුතුය.

 

ඉදිරිපත් කිරීම kenuri batik ආයතනයේ අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

 

ඡායා - ආසිරි උපේන්ද්‍ර ඩයස්