පවුලක් දියුණු වෙන්න සැමියා වගේම බිරියත් මුදල් ඉපයිය යුතුයි

හම්බන්තොට ඉනෝකා කිත්මලී
මාර්තු 3, 2021

 

විවාහය නිසා රැකියාවෙන් ඉවත්වීම ලොකු මෝඩකමක්

කොරෝනා කාලේ සල්ලිවල අගේ හොඳටම දැනුණා

 

“ඔයා ජොබ් එකට යනවට මම කැමැති නැහැ.”

“හැමදාමත් පාන්දර ගෙදරින් ගිහින් රෑ වෙලා එනකොට ඔයාට මහන්සියි.”

“දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ අතපසු වෙනවා. ඔයා ඒවා හොයලා බලන්න.”

“මම හම්බකරන එක අපි තුන් හතර දෙනාට හොඳටම ඇති.”

ඇතැම් සැමියන්ගේ මේ කතා බහ බොහොම ආදරණීයයි. එහෙත් පුංචි පවුලට දරු පැටවු දෙන්න තුන්දෙනා එකතුවන විට ආදරය පෑළදොරෙන් රිංගා යන්නත් බැරි නැහැ.

අද කාලෙ ටවුමකට ගිහින් එන්න ලොකු ගාණක් අතේ තියෙන්න ඕනෙ. හිතේ හැටියට කන්න අඳින්න නැත්නම් ඒ ජීවත්වීම විඳවීමක්. හැමදාමත් එකම තැන ඉන්නත් බැහැ. ගෙයක් දොරක් හදාගෙන යාන වාහනයක් අරන් දරුවන්ට උසස් අධ්‍යාපනයට මඟ පෑදීමත් අවශ්‍යයි.

මේ දේවල් හරි හැටි ඉටු කරගන්න නම් සැමියා විතරක් හරි හම්බ කරලා මදි. බිරියත් යම්කිසි මුදලක් ඉපයිය යුතුයි.

ඒකට රැකියාවකට ගෙදරින් එළියට බහින්නම අවශ්‍ය නැහැ. දෑතේ හැකියාවෙන් මුළු පවුලක්ම සශ්‍රීක කරන්නට හැකියි. බිරියට නිවෙසෙන් පිට රැකියාවකට අවසරය නොලැබෙන නමුත් ස්වයං රැකියාවන් සඳහා බොහෝ සැමියන් උදව් කරනවා. ඇගේ උත්සාහය පවුල දියුණු කරන්නම බව දන්නා සැමියන් ඔවුන්ට හදවතින්ම ආශිර්වාද කරන්නත් පැකිළෙන්නේ නැහැ.

හම්බන්තොට මයුරපුර පදිංචි ඉනෝකා කිත්මලී එවැනි දිරිය කතකි. මේ ඇගේ කතාවයි.

“විවාහයට පෙරම මට රැකියාවක් වෙනුවෙන් ගෙදරින් පිටමං වීමට තහංචි පැනවුණා. ඔහුගේ කීමට මා කළ රැකියාවට සමුදුන්නා. ඒත් හිතලා බලනකොට ඒක ලොකු මෝඩකමක්. කාන්තාවන් තමන්ගෙ උගත්කමට, දක්ෂතාවයට සරිලන රැකියාවක නිරතවීම වරදක් නොවෙයි. විවාහ වෙලා දරුවො ලැබිලා වසර ගණනාවක් ගියවිට මට ඒ බව වැටහුණා. ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බැහැ කියනවනෙ. එහෙම හිතලා මම ගෙදරදීම කරන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන හිතුවා.

මට මතකයි මම පුංචි කාලෙ මගෙ තාත්තා කොහු අඹරලා ලණු හැදුවා.

ඔහු අපව ජීවත්කළේ ඒ හයියෙන්.

අම්මා රැකියාවක් කළේ නැහැ. එහෙත් අම්මා තාත්තාගෙ වෘත්තියට හරි හරියට උදවු කළා. නංගියි මමයි ජීවත් කරන්න ඔවුන් නොසෑහෙන්න දුක් වින්දා. උසස් පෙළ විභාගයෙන් පස්සෙ මම රැකියාවකට ගියේ ගෙදර වගකීම දරන්න මටත් ඕන වුණ නිසා. මගෙ වැටුපෙන් නංගිගෙ අධ්‍යාපනයට වියදම් කළා. ඒක මම වගකීමෙන් සහ ලොකු සතුටකින් ඉටු කළේ. අම්මා තාත්තා වෙනුවෙනුත් මට මගේ යුතුකම් ඉටු කරන්න ඒ නිසා පුළුවන් වුණා.

මෙහෙම කාලය ගතවන විට තමයි මගේ ජීවන සහකරු මුණ ගැසුණේ. ඔහු දිනූප දුලංග. 2009 වසදරේදී අපි විවාහ වුණා. ඔහුගේ ඉල්ලීම අනුව මට රැකියාවට සමුදෙන්න සිදුවුණා. ඒත් ඒක ලොකු මෝඩකමක්.

බිරියගෙ අතට මුදලක් ලැබෙන එක පවුලට ශක්තියක්. එහෙම හිතලා මම පුංචි ස්වයං රැකියාවක් පටන් ගත්තා. කාන්තා අත් බෑග්, පෙර පාසල් බෑග් මහන්න පුරුදු වුණා. ඒ සඳහා සැමියාගෙ සහයෝගයත් ලැබුණා.

එහෙත් බෑග් අලෙවි කර ගැනීම හිතන තරම් පහසු වුණේ නැහැ. ගෙනියන කඩවලින් ප්‍රතික්ෂේප කළා. මම උත්සාහය අත්හැරියෙ නැහැ. බෑගයේ ගුණාත්මක බව, කල්පැවැත්ම, වැඩිකරමින් නැවතත් වෙළෙඳපොළ සොයා ගියා. අද වනවිට හම්බන්තොට, මාතර, බෙලිඅත්ත, තිස්සමහාරාමය වගේ නගරවල ප්‍රධාන පෙළේ කඩසාප්පුවල මගේ බෑග් අලෙවි කෙරෙනවා. ඒ තැනට එන්න මං නොවිඳිනා දුකක් වින්දා. දිවා රෑ නොබලා වෙහෙසුණා.

කොරෝනා කාලෙ බෑග් නිෂ්පාදන අලෙවි වුණේ නැහැ. හරිම දුෂ්කර වකවානුවකට මුහුණ දුන්නේ. ඒත් මම පසුබැස්සේ නැහැ. තිර රෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට උර මැසුවා. ඒවා අහල පහළ හිතවතුන් අතරේ අළෙවි කළා.

පසුගියදා පෙර පැසල් බෑග් ඇණවුමක් ලැබුණා. නැවත මගේ පුංචි ව්‍යාපාරයට හිස ඔසවන්න ඒක ලොකු අස්වැසිල්ලක්.

 

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.