උඩවැඩියා වගාකර අතමිට සරුකර ගන්න

මාර්තු 10, 2021

කොරෝනා වසංගතය ලෝකයම බිලිගෙන වසරක් ගෙවී හමාරයි. මේ කාලවකවානුව තුළ මිනිස් ක්‍රියාකාරකම් බොහොමයක් අඩපණ වෙලා. ලොව වෙනත් රටවල සේම අපේ රටේ ආර්ථිකය ද බෙහෙවින් දුර්වල තත්ත්වයට පත්වුණා. බොහොමයකගේ රැකී රක්ෂා අහිමි වූවා පමණක් නොව ස්වයං රැකියා ආදිය ද බිඳ වැටුණා.

 

ආර්ථිකයේ පත්ලටම වැටී සිටිනා බොහෝ දෙනකු ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට වෙර දරණ කාලයයි මේ. මොහොතක් සිතන්න. අසීමිත ජීවන බරක් උසුලන ඔබේ සැමියාට පුංචි රුකුලක් වෙන්නට, ඔහු නිවෙසේ වියදමට ලබාදෙන මුදලට අමතර මුදලක් එකතු කරන්නට හැකිනම් එය මොනතරම් සහනයක්ද?

නිවෙසටම කොටු වූ පසුගිය කාලය තුළ වැඩිදෙනකුගේ විනෝදාංශය බවට පත්වුයේ වගා කිරීමයි. නිවෙසේ එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළුවක්, පලාවක් පෝච්චියක හෝ සිටුවාගන්නට අපේ අය අමතක කළේ නැහැ.

ඊට අමතරව හැමදාමත් හැඩට වැඩට ගේ දොර තියාගන්නට කැමැති අපේ කාන්තාවන් තමන්ගෙ ගෙමිදුල මලින් පුරවාගන්නත් කටයුතු කළා. ඉතින් ඒ කටයුත්තම තවත් ටිකාක් වැඩි දියුණු කළහොත් අමතර ආදායමක් ලැබිය හැකියි නේද?

 

මල් ලෝකය පුදුමාකාර තරම් සොඳුරුයි.

මල් අතරේ ගැවසෙද්දී නෙත විතරක් නෙමෙයි සිතත් දැහැන්ගත වෙනවා. ඉතින් නෙත සිත නිවාසනසාලන අපූරු මල් වගාවකට පෙරමඟ ලකුණු කියන්නයි අපේ මේ සූදානම.

පියාසලන සමනල රෑනක් බඳු මල් කොමළියන් අතර ආඩම්බරකාර අග රැජිණ ඕකිඩ්. ඇය මිලාධිකයි. ඒවාගේම හැමතැනකම දකින්නත් නෑ. හැබැයි වැඩි කලබලයක් කරදරයක් නැතිව ඇයගේ පාඩුවේ වැඩෙනවා. පෝචිචි දහයක් වවා ගත්තත් ඇති. මොකද ඕකිඩ් කිනිත්තක් ඉහළ මිලකට අලෙවි කරන්නත් පුළුවනි. ආයෙත් හිතන්න. මාසයකට වතාවක් දෙකක් ඕකිඩ් කිනිති දෙක තුනක් කැපුවත් ඔබගේ දරුවන්ගේ පන්ති ගාස්තුව හරි පියවාගන්න පුළුවනි නේද? ඉඩකඩ වාගේම කාලවේලාව තියෙන ගෘහණියකට නම් ටිකක් වැඩිපුර වවන්නත් පුළුවනි.

මතක තියාගන්න අපි මේ කියන්නෙ බැංකුවට ණයවෙලා මුදල් අරගෙන කරන මහා පරිමාණ වගාවක් ගැන නෙවෙයි. පුංචිවට ගෙදරදීම අතමිට සරුකරන ආදායම් මාර්ගයක් ගැනයි.

එහෙමනම් අපි ලබන සතියේ සිට ක්‍රමානුකූලව ඕකිඩ් වගාකර ආදායමක් ලබන හැටි දැනගනිමු.