ෆේස්බුක් ගිණුමක් හදාගෙන භාණ්ඩ විකුණන්නේ කොහොමද?

මාර්තු 31, 2021

වර්තමානයේ රැල්ලක් බවට පත්වී තිබෙන ඔන්ලයින් බිස්නස් පිළිබඳව විශාල දැනුමක් මේ වනවිටත් ඔබ සතුව තිබෙනවා. ඔබ සතු හැකියාව කුමක්ද, ඒ තුළින් ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීමට පුළුවන්.

මේ වනවිට පොත් ප්‍රකාශකයන්, ලේඛකයන් පවා Online ව්‍යාපාර ජාලයට පිවිස අවසන්. මෙමඟින් කොළ කැඳ පවා අලෙවි කරන පෝස්ටුවක් මුහුණු පොතේ දක්නට ලැබෙනවා.

පසුගිය සතියේ සඳහන් කළ ආකාරයට, ඔබ අවට දන්නා කියන කිහිප දෙනකු වෙත ඔබගේ භාණ්ඩ හා සේවා සැපයීම ආරම්භ කරන්න. අත්දැකීම් සහ පළපුරුද්ද සමඟින් අනුක්‍රමයෙන් ව්‍යාපාරය පුළුල් කිරීමට කටයුතු කිරීම තමයි නිවැරැදිම ක්‍රමය. එලෙස ව්‍යාපාර ඇරැඹූ තරුණ ව්‍යවසායිකාවන් බොහෝ දෙනෙක් ඉතා හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙනවා. ඔබත් මුහුණු පොතේ සහ අන්තර්ජාලයේ පළවෙන ව්‍යාපාරක දැන්වීම් හොඳින් පරිශීලනය කරන්න. එතුළින් බොහෝ දේ උකහා ගත හැකි වේවි.

හොඳයි.... දැන් එහෙමනම් අපි බලමු ව්‍යාපාරයක් සඳහා ෆේස් බුක් ගිණුමක් පිළියෙල කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔබ කළ යුතු වන්නේ මුහුණු පොතේ පේජ් (Page) වෙත පිවිසීමයි. එය මත සංඥාවක් දුන් පසු ක්‍රියේට් පේජ් (Create Page) යන අවස්ථාව තිරයමත දර්ශනය වේවි. එය විවෘත කළ පසු ඔබ ඇරැඹීමට යන පිටුව සඳහා නමක් ලබා දෙන ලෙස දැනුම් දීමක් කෙරෙනවා. නම යෙදූ පසුව ප්‍රොෆයිල් සහ පිටුවට අදාළ ඡායාරූප ඇතුළත් කළ යුතුයි. මේ ආකාරයට නිර්මාණය කළ ගිණුමට ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් කිරීමට පුළුවන්.

මෙයින් පසුව තිරයේ පහත තීරුවක බූස්ට් පේජ් (Boost page) ලෙස සඳහනක් දකින්නට ලැබේවි. එයින් අදහස් කරනුයේ ෆේස් බුක් ආයතනය වෙත කෙරෙන මූල්‍යමය ගෙවීමකින් පසුව ඔබගේ ව්‍යාපාරය මුහුණු පොත හරහා වැඩි පිරිසකට දර්ශනය වීමට සැලැස්වීමයි.

මේ සඳහා අමෙරිකානු ඩොලර් එකේ සිට ඉහළට ගෙවීම් කිරීමට පුළුවන්. ගෙවීම් වැඩි වෙන ප්‍රමාණය මත තමයි දර්ශනය වෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යනු ලබන්නේ. දැන් ඔබට ගැටලුවක් මතු වී ඇති.... අවශ්‍ය ගැනුම්කරුවන් වෙත පණිවිඩය ලැබෙනවාද කියා. ඒ සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා දී තිබෙනවා. ඔබට පුළුවන් දැනුම් දෙන්නට.... මට අවශ්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ, මේ වයස් කාණ්ඩයේ අයට දර්ශනය වීමයි, එසේත් නොමැතිනම් අන්තර්ජාලය පරිශීලනය කරන සැමට ම ආදී වශයෙන්. එසේම ඔබ නිරත ව්‍යාපාරය රූපලාවණ්‍යය, අත්කම් නිර්මාණ, ආහාර, පොත් පත්, උද්‍යාන අලංකරණය ආදී වශයෙන් අවශ්‍ය කරුණ නම් කිරීමටත් පුළුවන්. එවිට එවැනි දෑට ඇල්මක් දක්වන්නන් කෙරෙහි ප්‍රමුඛතාවක් දක්වා දර්ශනය කිරීමට සලස්වනවා.

ගෙවීම් කරන්නේ කෙසේද?

ඒ අනුව ෆේස් බුක් ආයතනය ඔබගේ ගිණුමක තොරතුරු ඉල්ලා සිටිනවා. එය ක්‍රෙඩිට් හෝ ඩෙබිට් ලෙසින් විය යුතුයි. ඔබගේ ගිණුමේ අව්‍යාජ බව තහවුරු කර ගැනීම සඳහා ඔබ නම් කරන මුදල කපා ගෙන යළිත් ආපසු ගිණුම් ගත කරනවා. මෙම පරීක්ෂාවෙන් පසුව ෆේස් බුක් ආයතනය ඔබට සේවය ලබා දෙන අතර මාසය අවසානයේ දී ඔබගේ ගිණුමෙන් අදාළ මුදල අයකර ගනු ඇති.

ඔබ ගෙවූ මුදලට අනුව දර්ශනය වෙන සංඛ්‍යාව ඔබට දැනුම් දෙන අතරම සෑම ගෙවීමකින්ම ඔබට ලැබෙන්නේ පැය විසිහතරක කාලයක් පමණයි. කොපමණ ප්‍රමාණයක් දර්ශනය කර තිබෙනවාද, කොපමණ දෙනෙක් ලයික් කර (Like) කර තිබෙනවාද, කමෙන්ට් (Comment) කර තිබෙනවාද කියා ඔබට දැන ගත හැකියි.

ඇණවුම ලබා ගැනීම සහ ගෙවීම සිදුවන්නේ කෙසේ්ද?

ඔබගේ දැන්වීම් සඳහන් දුරකතන අංක, ඊමේල් ලිපින මඟින් පාරිභෝගිකයන් ඔබ සමඟ සම්බන්ධ වේවි. එමෙන්ම ඔබගේ දැන්වීමේම සෙන්ඩ් මැසේජ් ලෙස බොත්තමක් යොදා ගැනීමට පුළුවන්. එමඟින් ඇණවුම ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා. ඇණවුම ලැබුණු පසු මිල ගණන්, කුරියර් සේවාව සඳහා කෙරෙන ගෙවීම් ආදිය පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතුයි. භාණ්ඩය ලැබුණු පසු කුරියර් නියෝජිතයාට මුදල් ගෙවන ක්‍රමය තමයි බහුලව සිදුවන්නේ. මේ සඳහා ඔබ කුරියර් සේවා සපයන ආයතනයක ලියාපදිංචි විය යුතුයි. එවිට ඔවුන් ඔබට ස්ටිකරයක් ලබා දෙනවා. එම ස්ටිකරය ඇසුරුමේ ඇලවිය යුතුයි. කුරියර් ආයතනය ඔබගේ නිවෙසට හෝ සේවා ස්ථානයට පැමිණ ඇණවුම ලබා ගැනීම සිදු කරනවා.

ඔබ කුරියර් සේවාවේ අයකිරීමත් ඔබගේ නිෂ්පාදනයේ වටිනාකමට එකතු කළ යුතුයි. කුරියර් ආයතනය ඇණවුමෙන්, ඇණවුමට ඔබට ගෙවීම් කරන්නේ නැහැ. පාරිභෝගිකයන් ලබා දෙන මුදලින් කුරියර් ගාස්තුව අඩුකරගෙන ඔබට හිමි මුදල් මාසයකට දෙවතාවක් ලෙසින් ගිණුම් ගත කෙරෙනවා. මේ ආකාරයෙන් ව්‍යාපාරය දියුණු වෙද්දී පළමු ලිපියේ සඳහන් කළ ආකාරයේ විකුණුම් ජාල සමඟ සම්බන්ධ වීමට පුළුවන්. එවිට ඔබගේ භාණ්ඩයට ඇණවුම් ලබා ගන්නේ එම ආයතන විසින්. එහිදී ඔවුන් ඇසුරුම් පවා ලබා දීමට කටයුතු කරනවා.

 

 

උපදෙස් – වෘත්තිය පුහුණු උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

නිම්මි අරලියා

CRAFT ARALIYA

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.