බොහෝ දෙනෙක් ඕකිඩ් වගා කිරීමට පසුබාන කරුණු

මැයි 5, 2021

දෙනෙතට රසඳුනක් වන් වූ සොඳුරු ඕකිඩ් කුමරිය ඔබේ අතමිට සරුකරවන අපූරු ධන උල්පතකි. දේශීයව මෙන්ම විදේශීයව ද ඉහළ වටිනාකමක් සහිත මේ ඕකිඩ් වගාව නිසි පරිදි ක්‍රමානුකූලව පවත්වාගෙන යා හැකි නම් ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළයි.

 

නමුත් මේ සොඳුරු මල් කුමරියට කෙතරම් ලොබ බැන්දද ඇයව තම ගෙවත්තට කැඳවාගන්නට හෝ ඇය ඇසුරෙන් යම් ආදායම් මාර්ගයක් සකසා ගන්නට ඇතැමුන් පසුබානු පෙනේ. අලෙවියට සුදුසු මල් වර්ග තෝරා ගැනීමට ඇති නොදැනුවත්කම, පොහොර, කෘෂි රසායන ආදියේ හිඟකම, අමුද්‍රව්‍ය මිල අධිකවීම වැනි කාරණා ඒ සඳහා බලපා තිබේ. අප පසුගිය සතියේ දී එම කරුණු කාරණා කිහිපයක් පිළිබඳ කතාබහට ලක් කළ අතර මේ පසුබෑමට හේතුවන තවත් කරුණු මොනවාදැයි අද සොයා බලමු.

 

වගාව පිළිබඳ නිසි දැනුම නොමැතිකම

උඩවැඩියා මලට කෙතරම් ඇලුම් කළත් එය නිසි පරිදි වවාගන්නට බොහෝ දෙනෙක් නොදනිති. නිසි ලෙස පැළ සිටුවීම පමණක් නොව, ක්‍රමවත්ව වගාව නඩත්තු කරන්නට, ජලය, පොහොර, ඖෂධ ආදිය සපයන්නට ඔවුහු නොදනිති. මේ නොදැනුවත්කම නිසාම වවන මල් පැළය දෙක හෝ වුවද මිය යාමට ලක්වේ.

ඊට අමතරව උඩවැඩියා වගාව පිළිබඳ කිසියම් හෝ දැනුමක්, පළපුරුද්දක් නොමැති අය සපයන විවිධ උපදෙස් සහ පරස්පර අදහස් නිසාද ඇතැමුන්ගේ වගාවන් විනාශ වේ. මේ නිසා නිසි දැනුමක් නොතිබීම ද වගාවට පසුබසින කරුණකි.

 

සාධාරණ මිලක් නොමැතිවීම

කෙතරම් අපූරුවට මල් වගා කළද එයට නිසි මිලක් නොලැබෙන්නේ නම් එයද වගාවට පසුබසින හේතුවකි. විශේෂයෙන්ම මෙරට මල් එකතු කරන්නන්ගෙන් බොහෝ දෙනෙක් මල් සඳහා සාධාරණ මිලක් ලබා නොදේ. මල්වල ප්‍රමාණය, වර්ණය, ඒකාකාරී පෙනුම ආදී වශයෙන් අඩුපාඩු පවසමින් මිල අඩු කිරීමට උත්සාහ දරති. මෙහිදී කෙනකු ගෙවත්තට පැමිණ මල් මිලදී ගන්නා නිසා අඩු මිලට ගැනීමට උත්සාහ දරන අතර තවකෙක් තමා වෙතට රැගෙන එන මල් මිටියේ අඩුපාඩු පවසමින් මිල අඩු කරති. මෙලෙස සාධාරණ මිලක් නොලැබීම මතද මල් වගාව ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබේ.

 

විද්‍යාගාර පහසුකම් නොමැතිකම

දේශීයව මෙන්ම විදේශීයව ඇනවුම් ලබාදීමට නම් හොඳ තත්ත්වයේ මල් සහ පැළ වගා කළයුතුය. එමෙන්ම නව ප්‍රභේද සොයා ගැනීම, දෙමුහුන් කිරීම, පටක රෝපණය ආදී නිෂ්පාදන කටයුතු සඳහා විද්‍යාගාර පහසුකම් ද අවශ්‍ය වේ. නමුත් නවීන තාක්ෂණ පහසුකම් සහිත විද්‍යාගාර මෙරට අවම අතර ඒවා පවත්වාගෙන යාමට විශාල මුදලක් වැය කළ යුතු වේ.

ඉහත සඳහන් කරුණු කාරණාවලට අමතරව තවත් විවිධ හේතූන් මත උඩවැඩියා වගාවේ යම් යම් ගැටලු මතුවන බව පෙනේ. එනම් ඕකිඩ් සඳහා රෝපණ මාධ්‍ය නිවාරැදිව පාවිච්චි නොකිරීම, ඇතැම් කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට කාලගුණික තත්ත්වවලට නොගැළපීම, මල් සහ පැළෑටි ප්‍රවාහනයේදී ඒවාට හානි නොවන ආකාරයට ඇසිරීමේ නොදැනුවත්කම වැනි ගැටලුද ඇතිවේ.

එමෙන්ම ඇතැම් ඕකිඩ් වගා භූමි තුළ පවත්නා අපිළිවෙළ සහ අපිරිසුදුබව, පාරිසරික තත්ත්ව නොගැළපීම, වැඩුණු ශාක සහ පැළ සඳහා භාවිතකරන වගා මාධ්‍යයේ සහ ජලයේ නුසුදුසුකම් වැනි හේතු නිසාද වගාවන් දුර්වල තත්ත්වයට පත්වේ. ඒ හරහා වගාව හානියට පත්වී පාඩු සිදුවීම වැළැක්විය නොහැකිය.

සාමාන්‍යයෙන් විදෙස් රටකින් මෙරටට ඕකිඩ් පැළ ආනයනය කරනු ලබන්නේ නිරෝධායන නීති අනුවය. නමුත් මේ ක්ෂේත්‍රය පිළිබඳ එතරම් අත්දැකීම් සහ පළපුරුද්දක් නොමැති නව ආනයනකරුවන් අතින් විවිධ අතපසුවීම් සිදුවේ. ඒ හරහා ඕකිඩ් වගාවට විවිධ පළිබෝධකයන් ආදිය ඇතුළු වී මෙරට වගාවන් තුළට ද ඔවුන්ගේ බලපෑම් සිදුවීමට ඉඩ තිබේ. එබැවින් මෙවැනි වගාවකදී නිසි දැනුම සේම අවබෝධය, අවධානය වැනි දෑ ඉතා වැදගත් බව ද මතක තබාගන්න.

 

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ