ගම්මිරිස් කල්තබා ගන්නට හොඳින් වියළා ගන්නා අයුරු

මැයි 19, 2021

අපනයන වෙළෙඳපොළට නිකුත් කිරීමේ දී ගම්මිරිස් ශ්‍රේණිගත කිරීම අත්‍යවශ්‍යයි.

 

ශ්‍රී ලාංකිකයන් වන අපි දිව පිනවන කෑම කන්නට මෙන්ම විවිධාකාරයේ ආහාර පිසින්නට ද ඉතාමත් දක්ෂයෝ වෙමු. විශේෂයෙන්ම අපටම ආවේණික වූ ආහාර රටාවක් මෙන්ම දේශීය කුළුබඩු ඇසුරෙන් මෙම ආහාර රසවත් කරගන්නට ද අතිදක්ෂයෝ වෙමු.

එබැවින් කුළුබඩු එහෙමත් නැත්නම් දේශීය රසකාරකයන් අපට නැතුවම බැරිය.

කහ, ඉඟුරු , සාදික්කා, වසාවාසි, කරාබු නැටි, කුරුඳු වැනි මේ අපූරු රසකාරක අතර ඉහළින්ම වැජඹෙන්නේ ගම්මිරිස්ය. ගම්මිරිස් ඇටය ප්‍රමාණයෙන් ඉතා කුඩාය.

නමුත් ඉන් ලබාදෙන සැර සහිත රසය අතිමහත්.

එබැවින් ගම්මිරිස් නැති ආහාර පිසීමක් අපට නොමැති තරම්.

ඉතින් මුළුතැන්ගෙට නැතුවම බැරි මේ ගම්මිරිස් වැලක් දෙකක් ඔබේ ගෙවත්තෙත් වගා කරගත හැකි නම් එය මොනතරම් අපූරු ද ? එමගින් දෛනිකව ඔබට අවශ්‍ය ගම්මිරිස් ප්‍රමාණය කිසිදු අපහසුවකින් තොරව සපයාගත හැකි අතර ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ ද බියක් ඇති කරගත යුතු නොවේ.

මේ වනවිට ගම්මිරිස් වැලක් සිටුවා රැකබලා ගැනීම පමණක් නොව අස්වැන්න නෙළීම සහ ඊට උණුදිය ප්‍රතිකාරය කිරීම ගැනත් ඔබ දැනුවත්. එබැවින් මේ උණුදිය ප්‍රතිකාරයෙන් පසු ක්‍රමානුකූලව අස්වැන්න වියළා ගබඩා කරන්නේ කෙසේදැයි අද අපි සොයා බලමු.

 

 

 

 

 

ගම්මිරිස් වියළීම

 

සාමාන්‍යයෙන් උණුදිය ප්‍රතිකාරයත් සමඟම 75% ක් පමණ ජල ප්‍රතිශතයක් ගම්මිරිස්වල පවතී. නමුත් කල් තබා ගැනීම සඳහා මෙම ජල ප්‍රතිශතය 12% දක්වා අඩු කර ගතයුතු වේ. එය සිදු කරගත හැක්කේ වියළීම මගිනි. අස්වනු නෙළා ගත් විගස වියළා ගැනීම මඟින් ක්ෂුද්‍ර ජීවි හානි අඩුකර ,ගබඩා කාලය වැඩි කර ගත හැකියි. මෙහිදී ගෘහස්තව අව්වේ දමා වියළා ගැනීම සිදුකරන්න. බාහිර අපද්‍රව්‍ය එකතු නොවන සහ සතුන් ඇතුළු විය නොහැකි ලෙසට සකස් කරගන්නා ලද උස් වූ ස්ථානයක මෙම වියළා ගැනීම සිදු කළහැකි නම් එය වඩාත් සුදුසුය. එහිදී පොළොව මත එලනලද අතුරනයක් උඩ මෙම ගම්මිරිස් තුනී තට්ටුවක් ලෙස අතුරා හොඳින් වියළා ගන්න.

ගම්මිරිස් ඒකාකාරීව වියළීම සඳහා විටින් විට අතින් හෝ රේක්කයක් ආධාරයෙන් කලවම් කරන්න. මෙලෙස උදේ වරුවේ පැය දෙකක් තුනක් අව්වේ තබා වියළා නැවත පැයක් පමණ පවනේ වියළන්න. ඉන්පසුව නැවතත් සවස් කාලයේ පැය දෙකක් තුනක් පමණ අව්වේ වියළන්න. මෙලෙස දින දෙකක තුනක කාලයක් ගතවන විට ගම්මිරිස් හොඳින් වියළේ.

එහිදී ගම්මිරිස්වල ජල ප්‍රතිශතය 12% ක් දක්වා අඩු වී තිබිය යුතුය. ඔබ ගම්මිරිස් ඇටයක් නියපොත්තෙන් කැඩීමට තැත් කළ විට 'ටකස්' යන ශබ්දයෙන් ගම්මිරිස් ඇටය කැඩී යයි නම් එය හොඳින් වියළාගත් බවට සලකුණකි.

 

ශ්‍රේණිගත කිරීම

 

සාමාන්‍යයෙන් අපනයන වෙළෙඳ පොළට නිකුත් කිරීමේ දී ගම්මිරිස් ශ්‍රේණිගත කිරීම අත්‍යවශ්‍ය අංගයකි. නමුත් නිවෙසේ පරිභෝජනය සඳහා ගම්මිරිස් සකසා ගන්නේ නම් මෙය අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් සකස් කරගන්නා ලද ගම්මිරිස් ලීටරයක පරිමාවකට පුරවා එහි බර කිරා ගත් පසු ග්‍රෑම් 550 ට වඩා වැඩි අගයක් ගනී නම් එය පළමු ශ්‍රේණියේ ගම්මිරිස් ලෙස හැඳින්විය හැකිය.

 

විශේෂයෙන්ම ඔබ නිවෙසේ දී සකසා ගත් ගම්මිරිස්වල ගුණාත්මක තත්ත්වය ඔබටම නීර්ණය කරගැනීමට හැකියාව ඇත. ඒ සඳහා ලීටර් 1 ක අයිස්ක්‍රීම් බඳුනක් ගෙන එහි කට මට්ටම දක්වා ගම්මිරිස් ඇට පුරවාගන්න. අනතුරුව නිවෙසේ තිබෙන තරාදියකින් බර කිරාගන්න. එවිට එම ගම්මිරිස්වල බර ග්‍රෑම් 550 ට වැඩියි නම් ඔබේ නිෂ්පාදනය ඉතා ඉහළ ගුණාත්මක මට්ටමක පවතී.

 

ඇසිරීම සහ ගබඩා කිරීම

 

ඇසිරීම සහ ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ගම්මිරිස්වල ජල ප්‍රතිශතය 12% දක්වා අඩු මට්ටමක පැවැතිය යුතු බව ඔබ මතක තබාගන්න. මෙහිදී ප්‍රමිතිය ග්‍රේජ් 250 /300 පමණවන පොලිතීන් හෝ පොලිප්‍රොපිලීන් මල්ලක් තුළ ඇසිරීම මගින් ගම්මිරිස්වලට ජල අවශෝෂණය වළක්වා ගත හැකියි.

නිවෙසේ නම් ජීවානුහරණය කරනලද වීදුරු බෝතල් වල අසුරා කල්තබාගැනීම ප්‍රායෝගිකයි. මෙම වීදුරු බෝතල් විදුලි උදුනක සෙන්ටිග්‍රේඩ් අංශක 150ක උෂ්ණත්වයකින් විනාඩි 15 ක් හෝ ද්විත්ව උණුදිය ප්‍රතිකාරය( Double boiling) මගින් ක්ෂුද්‍රජීවීහරණය කරගැනීම වඩාත් සුදුසුය.

ගෘහස්ථ ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කරමින් වියළි ගම්මිරිස් කුඩු කර හෝ කැබැලි බවට පත්කර වුවද ඔබට කල්තබා ගත හැකිය. ඒවාද ජීවානුහරණය කරනලද බෝතල් තුළ ඇසිරීම මගින් වැඩි කාලවකවානුවක් ඉතා හොඳ තත්ත්වයෙන් කල් තබා ගන්නට පුළුවනි. මෙම ක්‍රමය මුළුතැන්ගෙයි භාවිතය ද පහසු කරයි. එසේම ගම්මිරිස් වැඩි අස්වැන්නක් ලැබී තිබේ නම් මෙලෙස සකසාගත් කළු ගම්මිරිස් නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙසින් ද ඔබට පවත්වාගෙන ගිය හැකිය.

 

 

 

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ (ගම්පහ),

සහකාර අධ්‍යක්ෂ

චරිතා කෝසලී ප්‍රියදර්ශිකා

 

 ඡායාරූප -ලසන්ත අබේරත්න

 වි‍ශේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු