සමූහ බඳුනකින් පැළ ගලවා ගැනීම තරමක් පරෙස්සමට කළ යුත්තකි

උඩවැඩියා මල් ලෝකය
ජූලි 7, 2021

 

 

ඕකිඩ් මල් ගොමුවක සැරිසරද්දී, විකසිත මලෙක සුන්දරත්වය නෙත ගැටෙද්දී සිතට දැනෙන්නේ පුදුමාකාර චමත්කාරයකි. විඩාබර සිතිවිලි නිසාම දුර්වල වුණු, අඩපණ වුණු මේ හිත, මල් කැකුළු අභියස හරි අපූරුවට පණ ගැහෙනු ඔබ අත්විඳ ඇතුවාට කිසිදු සැකයක් නෑ.

ඉතින් හිත තුටින් පුරවාලන අපූරු ඕකිඩ් මල් වගාවක හිමිකාරියක වන්නට දැන් ඔබටත් පුළුවනි. එපමණක් නොව මල් ඇසුරේ කල්ගත කරමින් හොඳ ආදායමක් ලබාගන්නත් හැකියාව ලැබේවි. ඒ සඳහා මඟහසර කියාදෙන මේ විශේෂාංගය ඔස්සේ අද අපේ අවධානයට ලක්වන්නේ සමූහ බඳුනකින් ඕකිඩ් පැළ ගලවා ගැනීම සහ ඒවා දැල් පෝච්චිවල සිටුවා ගන්නා ආකාරයයි.

සාමාන්‍යයෙන් ස්වයං රැකියාවක් ලෙස පහතරට මල් වගාවක් ආරම්භ කරන්නට මඟ බලා සිටින පුද්ගලයකුට නම් ඒ සඳහා ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් වර්ගය ඉතා සුදුසු බව අප සඳහන් කළා. එහිදී වගාවට ආධුනිකයකු වූ ඔබ සමූහ බඳුන් (Community Pots) හෝ කුඩා දැල් පෝච්චි (Small net pots) වලින් වගාව ආරම්භ කිරීමයි වඩාත් සුදුසු වන්නේ.

පිළිගත් පැළ තවානකින් හෝ දැනට ඕකිඩ් වගාවේ නියැළුණු කෙනකුගෙන් මේ සමූහ බඳුන් ලබාගත හැකි අතර ඒවා රැගෙන විත් රඳවා තැබිය යුතු ආකාරය ගැන අප සඳහන් කළා ඔබට මතක ඇති.

 

පැළ ගැලවීම

මෙලෙස ඔබේ ගෙවත්තේ පරිසරයට හුරුපුරුදු වන්නට දින කිහිපයක් තැබූ සමූහ ඕකිඩ් පැළ බඳුනකින් පැළ ගලවා ගැනීම තරමක් පරෙස්සමට කළයුත්තකි. පළමුව පැළ සිටුවා ඇති වගා මිශ්‍රණය කෝටු කැබැල්ලක් ආධාරයෙන් බුරුල් කරගත යුතුය. එහිදී පැළවල මුල් නොකැඩෙන පරිද්දෙන් එය කිරීමට වගබලාගන්න. අනතුරුව ගළවාගත් පැළ සියල්ලම පිරිසුදු ජලයෙන් සෝදා ගන්න. ඉන්පසුව සාන්ද්‍රණය අවම කළ එනම් දුර්වල කැප්ටාන් ද්‍රාවණයකින් ද මේ පැළ සෝදා ගතයුතු වේ. මෙහිදී කැප්ටාන් තේ හැඳි 1/2ක් ජලය ලීටරයක දිය කිරීමෙන් මෙම දුර්වල කැප්ටාන් ද්‍රාවණය සකසාගත හැකිය.

 

දැල් පෝච්චිවල සිටුවීම

 

මේ කුඩා ඕකිඩ් පැළ සිටුවීම සඳහා මුහුණත විෂ්කම්බය අඟල් දෙකක් පමණ වූ දැල් පෝච්චි යොදා ගතහැකිය. (ඔබට මේවා වගාවට සම්බන්ධ උපකරණ අලෙවිකරන ස්ථානයකින් මිලදී ගත හැකිය.) පැළ සිටුවන වගා මාධ්‍යය විය යුත්තේ කුඩාවට කඩාගන්නා ලද රට උළු කැබැලි සහ දැව අඟුරු කැබැලිය.

මේ කැබැලි අඟල් 1/8ක් පමණ සිටින්නට කඩා ගත යුතු අතර අළු හෝ දූවිලි නොසිටින පරිද්දෙන් හොඳින් සෝදා වියළාගන්න. අනතුරුව අඟුරු සහ උළු කැට කැබලි සම සමව මිශ්‍ර කරගන්න.

දැන් පරෙස්සමට ගලවා සෝදා පිරිසුදු කරගත් කුඩා ඕකිඩ් පැළෑටිය පෝචිචිය මැද්දෙන් තබා මුල් පමණක් වැසෙන සේ මේ වගා මිශ්‍රණය යොදන්න. එහිදී ඕකිඩ් පැළයේ කඳ කොටස නොගිල්වීමට ඔබ වගබලා ගත යුතු වේ.

ඇතැම්විට මෙලෙස පැළය සිටුවා දින දෙක තුනකට පසුව එය පැත්තකට ඇද වී ඇති බවක් එහෙමත් නැතිනම් කඩා වැටුණු ස්වභාවයක් වුවද දැකිය හැකිය. නමුත් ඒ පිළිබද බියක්, කලබලයක් ඇතිකරගත යුතු නොවේ. මන්ද එම පැළෑටියේ අලුත් මුල් ඇති වී සවිමත් වුවිට අලුතින් දලු ලා වැඩෙන ඊළග අතු කැබැල්ල ඉබේම සිරස්වනු ඇත. ඔබ කැමැති නම් පෝච්චියේ පසෙකින් සිහින් කෝටු කැබැල්ලක් සිටුවා වියළි පට්ටා කැබැල්ලකින් ගැට ගැසීම හරහා ද ඔබට මුල සිටම මේ පැළය සිරස්ව තබාගත හැකියි.

දැන් කුඩා ඕකිඩ් පැළ දැල් පෝච්චිවල සිටුවා අවසානයි. මේවා රාක්කයේ රඳවා තබන ආකාරය ලබන සතියේ දී දැනගනිමු.

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ