පිළිකන්නේ වගාවෙන් අමිල ප්‍රතිලාභ....

අගෝස්තු 11, 2021

මුළුතැන්ගෙයින් ඉවතලන්න කිසිවක් නෑ...

පොහොර, රෝපණ ද්‍රව්‍ය සියල්ල අතේ දුරින්...

කිසිදු ගොවිපොළකින් නො ලැබෙන නැවුම් අස්වැන්නක්...

ගොවිතැන යනු මෙතරම් කටුක හා ප්‍රශ්නකාරී ව්‍යායාමයක් දැයි කුඩා දරුවකුට වුවත් සිතෙන වටාපිටාවක් අප අවටින් නිර්මාණනීය වී තිබේ. පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය යනාදියෙහි හිඟයක් මත අද දවසේ ගැටළු පැනනැගී තිබුණද, ඒවා වෙළඳපොලෙහි තිබෙන කලදී පවා වගාකරුවන්ට ඒවාහි මිල පිළිබඳව අපහසුතා තිබිණ.

අමාරුවෙන් හෝ මිලට ගෙන වගාව පවත්වා ගැනීමෙන් අනතුරුව පලදාව විකුණාගැනීමේ අසීරුතාවය තිබිණ. ගොවිතැන මෙතරම් අමාරුදැයි අප ආරම්භයේදීම විමසනු ලැබුවේ මේ හේතුවෙනි.

එහෙත් ගොවිතැන යනු සිත නිවෙන අභ්‍යාසයක් බවට පත්කර ගැන්මට ඔබට හැකියාවක් තිබෙන බව පෙන්වාදීම අපගේ අදහසයි.

අධික මිලක් ගෙවිය යුතු පොහොර, කෘෂි රසායන, බීජ වැනි දෑ ඔබට ගැටලුවක් නොවන්නේ නම්, ගෘහයට අවශ්‍ය නැවුම් එළවළු කීපයක්, ආහාර පිසින්නට විනාඩි කීපයකට කලින් මුළුතැන්ගෙට ගන්නට අවස්ථාවක් තිබේනම්, කලබලකාරී සිතට සැනසීමක් ගෙනෙන්නට එය සමත් නොවන්නේද? එම තත්වය උදාකරගත යුත්තේද ඔබ විසින්මය.

පසුමිදුලේ නිර්මාණය වන කුඩා ගොවිපොලෙහි හිමිකරුවා වන්නේද ඔබමය. ඒ සඳහා අවශ්‍ය පොහොර නිර්මාණයද ඔබගේමය.

කොම්පෝස්ට් බඳුනක් සාදා ගන්නා ආකාරය

අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනෙන්නේ මුළුතැන්ගෙයින් ඉවතලන ද්‍රව්‍යයයි. මෙහි සඳහන් ආකාරයට බඳුනක් සාදා ගන්න. මේ සඳහා අවශ්‍ය වනුයේ පියනක් සහිත තරමක් විශාල ප්ලාස්ටික් භාජනයකි. එහි පැති බිත්තිවල සහ පියනේ සිදුරු කීපයක් සාදාගත යුතුවේ. පතුලට තුනී පස් තට්ටුවක් දමන්න. ඒ මතට එළවළු හා පලතුරු ලෙලි, බිත්තර කටු, තේ මන්ඩි වැනි ඕනෑම දෙයක් දැමිය හැකිය. එසේ නමුත් සත්ව අස්ථි, කිරි ආහාර ඉතුරුම් ආදිය දමන්න එපා.

සතියකට වරක් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය පහසුකිරීම උදෙසා බඳුන තුළ ඇති දෑ හොඳින් කලවම් කල යුතු අතර, ඒ සෑම වතාවකදීම අඟලක පමණ ඝනකම් පස් ප්‍රමාණයක් එකතුකිරීමටද වග බලාගන්න. මෙම ක්‍රියාවලිය භාජනය පිරෙන තුරු සති කීපයක් තිස්සේ සිදුකළ යුතුවේ. බඳුන හිරුඑළියට නිරාවරණය නොකරන්න. මාස දෙකක් ගතවෙත්දී ඔබගේ පසුමිදුලේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල මේ බඳුන තුළ නිපදවී අවසානය.

කුඩා හරිත පැලෑටි වර්ග පෝෂ්‍ය ගුණයෙන් පොහොසත්වේ.

අබ, උළුහාල්, බජිරි, රටකජු වැනි ඇට අහුරක් පසුමිදුලේ කෙළවරක තිබෙන තෙත පස මත විසුරුවා සිහින් පස් තට්ටුවකින් බීජ ආවරණය කරන්න.

දින දෙක තුනකින් ඒවා පැලවී තිබේවි. එහි පළමු පත්‍ර කීපය හටගත්තා යනු අස්වැන්න ලෙස නෙලීමේ අවස්ථාව එයයි. කතුරක උපකාරයෙන් පස් මට්ටමෙන්ම පැලෑටි කපා ගන්න.

ඔබගේ සැන්ඩ්විචයට, සලාදයට හෝ සුප් කෝප්පයට මෙය කදිම රසයකි. අනුභවයට අකමැති හෝ නුසුදුසු යයි හැඟෙන ළුලදාව වුවත් ගොවිතැනට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නට ඔබට හැකියාව තිබේ.

ඒවා කොම්පෝස්ට් බඳුනට දමා ප්‍රතිචක්‍රීකරණය කලයුත්තේ ප්‍රරෝහණ ශක්තියක් නොමැත්තේ නම් පමණි. පැලවූ ලූනු ඔබේ මුළුතැන් ගෙයි තිබෙන්නේ නම් සරලව ඒවා පසෙහි යට කරන්න. අස්වැන්න ලෙස ලූණු ලබාගැනීමට මාස තුනක් පමණද, එවන් ප්‍රතිපලයක් ලැබීම සැක සහිතද වන නමුත් ඔබට ලූනු කොළ අස්වැන්නක් නම් වරදින්නේ නැත.

කෑම මේසයට නුසුදුසු තරමට ඉදුණු තක්කාලි ශීතකරණයේ තිබෙන්නේ නම්, ගෙඩිය පිටින්ම ගෙන මඳ වශයෙන් මිරිකා පලුදුකර පසේ යට කරන්න.

උපදින පැල අඟල් හයක් පමණ උස ගිය කල්හි, ඒවා ගලවා වෙන වෙනම සිටුවිය හැකිවේ.

උවමනා තරමට වඩා ඉදුණු මිරිස් කරලක ඉරණමද මේ ආකාරයටම විසඳිය හැකිවේ.

මෙවැනි වගාවකට ප්‍රශස්ත මට්ටමක හිරුඑළිය හා පසට අවශ්‍ය ජලය ලබාදීමට අමතක නොකළ යුතුවේ.

ජලය දැමීමට පෙර අනිවාර්යයෙන්ම පස අතගා බලා තෙතමනය පරීක්ෂා කළ යුතුය. අනවශ්‍ය ජල ප්‍රමාණයක් හමුවේ ශාක රෝග වැඩිපුර මතුවීමත්, මුල් කුණුවීමත් සිදුවේවි. පළිබෝධකයින් විකර්ෂණය කිරීම සඳහා දර අඟුරු කුඩා කැබලි වලට කඩා පසට දැමීම සහ ශාක දේහයට කොහොඹ හෝ අනෝදා ඇට නිස්සාරකය වැනි දෙයක් ඉසීම කළ හැකිය. ඒවා පිළියෙළ කරගන්නා ආකාරය වෙනම සඳහන් කළයුතුව තිබේ.

මෙම ව්‍යායාමය ඔබගේ ගතට අභ්‍යාසයකි.

මනසට විවේකයකි. කෑම මේසයට සෞඛ්‍යාත්මක හා පෝෂ්‍යදායී ආහාර සැපයුමකි.

උපදෙස්

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,

ගන්නොරුව, පේරාදෙණිය