කුළුබඩු ලොව රජ කුමරිය වැනිලා

ගෙවත්තේ වගාකර අතමිට සරුකර ගනිමු.
අගෝස්තු 18, 2021

 

වැනිලා රසයෙන් අනූන අයිස්ක්‍රීම්, කිරි වාගේම කේක්, බිස්කට් වැනි රසකැවිලි ආදිය මතක් කළත් දිවඟට කෙළ උනනවා නේද? ඉතින් ලොකු පොඩි කවුරුත් බොහෝම ආශාවෙන් රසවිඳින මොනවද මේ වැනිලා කියන්නේ.

 

කුළුබඩුවක් එහෙමත් නැත්නම් රසකාරකයක් කියලා කියන මේ වැනිලා භෝගය අපේ ගෙවත්තේ වගා කරන්න බැරි වේවිද ? එන්න අද අපි ඒ ගැන කථා කරමු.

 

මොනවද මේ වැනිලා ?

වැනිලා කියන්නේ ලෝකයේ බහුලවම භාවිතා කරන රසකාරකයක්. ඒවාගේම සුවඳකාරකයක්.

කුළුබඩු ලොවේ කුමාරිය ලෙස හඳුන්වන මේ වැනිලා සුවඳට වාගේම රසයටත් බොහෝ දෙනෙකු දැඩි රුචිකත්වයක් දක්වනවා. ඉතින් ඕකිඩ් පවුලට අයත් ශාකයක් වූ මේ රසවත්, සුවඳවත් වැනිලා වැලක් ඔබේ ගෙවත්තේ වගා කළහොත් ඉහළ ආදායමක් ඉතා පහසුවෙන් ලබාගත හැකි බව ඔබ දන්නවාද ?

වර්තමානයේ දේශීය වෙළෙඳපොළේ අමු වැනිලා කරල් කිලෝ එකක මිල රුපියල් 5,000ක් පමණ වන අතර මෙය ඉහළ ආර්ථික වටිනාකමකින් යුතු භෝගයක් ලෙස සැලකෙනවා.

එමෙන්ම ස්වාභාවික වැනිලා සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතිනවා. නමුත් ඉල්ලුමට සරිලන සැපයුමක් තවමත් ලැබෙන්නේ නැහැ.

වැනිලා වර්ග දෙකක්

 

කෘත්‍රිමව නිපදවන වැනිලා සහ ස්වාභාවික වැනිලා ලෙස වැනිලා වර්ග 02 ක් තිබෙනවා. මෙහිදී ස්වාභාවික වැනිලා නිෂ්පාදනය සිදුකරන්නේ උඩවැඩියා හෙවත් ඕකිඩ් පවුලට අයත් වැනිලා වැලේ හටගන්නා කරල්වලින්. මේ වැනිලා වැල්වලින් නෙළා ගන්නා අමු වැනිලා කරල් පදම් කරනු ලැබේ. අනතුරුව ඒවායින් වැනිලා කරල්, කැබැලි, නිස්සාරක, ඔලියොරෙසින, කුඩු, ද්‍රාවණ ආදි විවිධ වැනිලා නිෂ්පාදන කළහැකි වේ.

 

ඔබ දන්නවාද?

මෙම සුවඳ රසකාරකය මිලෙන් දෙවැනි වෙන්නේ සැෆ්රන්වලට විතරයි කියලා.

 

භෝග ව්‍යාප්තිය

 

ශ්‍රී ලංකාවේ මහනුවර, මාතලේ, කෑගල්ල නුවරඑළිය, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් වැනිලා වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙම භෝගය තනි වගාවක් ලෙසින් මෙන්ම ගෙවතු ආශ්‍රිතව මිශ්‍ර වගාවක් ලෙසින් ද වගා කළ හැකියි. ඊට අමතරව පොල් වගාවේ යටි වගාවක් ලෙසින් ද තේ, ගම්මිරිස් වැනි භෝග ආශ්‍රිතව ද මේ වැනිලා භෝගය හොඳින් වගා කළ හැකියි. විශේෂයෙන්ම ඔබේ ගෙවත්තේ තිබෙන වැට මායිම වුණත් මේ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි.

වැනිලා කියන්නේ තරමක් ඝනකම් කොළ පැහැති පත්‍ර හටගන්නා ආධාරකයක් ඔස්සේ ඉහළ නගින වැලක්. වැනිලා වැලෙහි කඳ දුර්වලයි. මේ වැල්වලට නිදහසේ වැඩෙන්නට ඉඩ හැරියහොත් අඩි 30-35ක් පමණ උසකට වර්ධනය වෙනවා. අඹ ගස් වැනි සුවිශාල වැඩෙන ශාක මත වැඩුණු එවැනි වැනිලා වැල් ඔබ දැක ඇති.

නමුත් ක්‍රමාණුකූලව පවත්වාගෙන යන වැනිලා වගාවක දී මේ වැනිලා වැල් අපේ උස මට්ටමට නඩත්තු කර තබා ගත යුතු වෙනවා.

මන්ද වැනිලා මල් අතින් පරාගනය කළ යුතු නිසා වැනිලා වැල් එම උස මට්ටමේ පවත්වා ගැනීම පහසුවක් වෙනවා.

 

වැනිලා වගාවක් අරඹන්නේ කෙසේද?

ඔබේ ගෙවත්ත සෙවණ සහිත නම්, හොඳ වැස්සකුත් වසර පුරාම ලැබෙනවානම්, ඔබ ප්‍රදේශයේ සෙල්සියස් අංශක 21 – 32 පමණ සාමාන්‍ය උෂ්ණත්වයකුත් පවතිනවා නම් ඔබට සාර්ථක වැනිලා වගාවක් කරන්න පුළුවනි. හැබැයි ඒ විතරක් නෙවෙයි,

ජලය හොඳින් බැසයන පසක් වගේම එම පස කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් වීමත් අනිවාර්යයි.

 

රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම

වැනිලා වගාවක දී සිටුවීම සඳහා වඩාත් සුදුසු වන්නේ අඩි 03-09ක් පමණ දිගු නිරෝගී වැල් කැබැලියි.

එමෙන්ම ඔබ සිටුවීම සඳහා

වැනිලා දඬු ලබාගන්නා මව් ශාකය විශාල ඝනකම් පත්‍ර සහිත රෝග පලිබෝධවලින් තොර, වේගවත් වර්ධනයක් හා වැඩි අස්වැන්නක් ලබාදෙන ශාක වීම ඉතා වැදගත්. එමෙන්ම මල් පිපුණු වැල් හෝ කරල් නෙළූ වැල් කැබැලි පැළ කිරීම සඳහා සුදුසු වන්නේ නැහැ.

ඔබට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිටුවීමට සුදුසු නිරෝගී වැනිලා දඬු නොමිලේම ලබා ගැනීමට මඟ පෙන්වනවා.

ඒ විතරක් නොවෙයි ඔබ ප්‍රදේශයෙහි අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීතුමා හෝ නිලධාරිතුමිය හමුවී අවශ්‍ය සියලු උපදෙස් පවා නොමිලේ ලබාගන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.

උපදෙස් -

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (කෑගල්ල)

සහකාර අධ්‍යක්ෂ

කේ.පී.පූර්ණිමා මධුෂානි

 

 

 

විශේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු සහ

රුවන් බස්නායක

ඡායා - ලසන්ත අබේරත්න