දඬු හරියට හිටෙව්වේ නැත්නම් වැල් හැදෙනවා බොරු

දේශීය රසකාරක භෝග වගාව
සැප්තැම්බර් 29, 2021

 

රසායනික පොහොර අවශ්‍ය නැත

සිත මන්මත් කරවනා ඉමිහිරි සුගන්ධයත්, දිව පිනවන මිහිරි රසයත් එකට කැටි කරගත් අපූරු රසකාරකයකි වැනිලා. ලෝකයේ මිල අධික රසකාරක‍යක් මෙන්ම සුවඳ කාරකයක් වූ නිසාම මේ භෝගය හරහා ඉහළ ආදායමක් ද උපයාගත හැකිය.

එබැවින් වැනිලා වැලක් දෙකක් ඔබේ ගෙවත්තටත් එකතු කරගත හැකි නම් එය කදිම ස්වයං රැකියාවක් වනු නොඅනුමානයි.

මේ භෝගයේ වැදගත්කම සේම වගාව සඳහා වැනිලා දඬු කැබලි තෝරා ගැනීම පිළිබඳ අප පසුගිය සතියේ දී කතාබහ කළා ඔබට මතක ඇති. ඒ අනුව අද අපි වැනිලා දඬු සිටුවා රැකබලා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

වගාවට දඬු කැබලි සූදානම් කිරීම

 

සාමාන්‍යයෙන් වගාව සඳහා තෝරාගන්නේ අඩි 03ක් පමණ දිග වැනිලා වැල් කැබැලිය. අනතුරුව ඒවායේ පහළ (යට) කෙළවරේ පත්‍ර 3ක් හා මුල් පුරුක ආසන්නයේ කඳ කොටස කපා දැමිය යුතු වෙනවා. ඉන්පසුව දින 05 – 06ක් පමණ කාලයක් මෙම වැල්වල ඉහළ කෙළවර පහතට සිටින සේ එල්ලා තැබිය යුතුයි. ඒ අතරතුරේ ඔබට මේ වගාව සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම සිදුකළ හැකි වේ.

 

ආධාරක ශාක සිටුවීම

වැනිලා වැල් ඉහළට යැවීම සඳහා ආධාරක ශාකයක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා වඩාත් සුදුසු මෙන්ම බහුලව භාවිත කරන්නේ ග්ලිරිසීඩියා එහෙමත් නැතිනම් වැටමාර හෝ එරබදු වැනි ශාකයන්ය. විශේෂයෙන්ම වැනිලා වැලේ වර්ධනයට අවශ්‍ය සෙවණ සහ කොළ පොහොර ආදිය ලබාගැනීමටත් මෙම ආධාරක ශාක අවශ්‍ය වේවි.

එමෙන්ම වැනිලා මල් අතින් පරාගනය සිදුකළ යුතු වේ. එබැවින් මේ වැල් අපේ උස මට්ටමට නඩත්තු කිරීමට ග්ලිරිසීඩියා, එරබදු වැනි ආධාරක ශාක පහසුවක් වේවි. එසේ නමුත් ඔබේ ගෙවත්තේ ඇති පුවක්, පොල් වැනි ශාකයක් ආධාර කරගෙන වුවද වැනිලා වැල සකසා ගත හැකි බව අමතක කරන්න එපා.

 

දඬු සිටුවීම

 

වැනිලා දඬු සිටුවීමට මාස 06කට වත් ප්‍රථමයෙන් ආධාරක කණු සිටුවා ගත යුතුයි. එහිදී අඩි 08 x 05 පරතරයකින් මේ ආධාරක සිටුවා ගන්නට මතක තබාගන්න. මේ ශාක සිටුවා මාස 06කට පසුව ආධාරක ශාකය වටේ අඩි 03ක විශ්කම්භයකට අඩි ½ක් ගැඹුරට පස බුරුල් කර, කොළ පොහොර සමඟ හොඳින් මිශ්‍ර කරන්න.

දැන් ආධාරක ශාකයේ පාදස්ථයේ එනම් ශාක මුලේ සිට තිරස් අතට අඟල් 2 1/2ක පමණ ගැඹුරට කුඩා කාණුවක් සාදන්න. ඉන්පසුව වැලේ පත්‍ර ඉවත් කළ දඬු කොටසින්, අඩි 1 1/2ක් එනම් පුරුක් 03 – 04 පමණ එම කාණුව දිගේ තබා වසා දමන්න. නමුත් වැලේ මුල්ම අඟල් 1/2 පසට යට කරන්නට එපා. එසේ කරන්නට හේතු වන්නේ පසේ හානිකර රෝගකාරක වැලට ඇතුළු වී වැල් කුණුවීම වළක්වා ගන්නටයි.

ඉන්පසුව වැනිලා වැල් ආධාරක ශාකයට තබා ප්‍රවේශමෙන් බඳින්න. මේ සඳහා ඔබට කෙසෙල් පට්ටා හෝ රෙදි පටි ආදිය යොදාගන්න පුළුවනි. අනතුරුව තාවකාලික සෙවණක් ලබාදීම අනිවාර්යය වේ. ඒ සඳහා පොල්, කෙසෙල්, තල් ආදී අතුවලින් තාවකාලික සෙවණක් සපයා ගත හැකියි.

 

වසුන් යෙදීම හා පොහොර සැපයීම

වැනිලා දඬු සිටවූ පසුව මේ වැලේ පාදස්ථ කොටස වැසී යන පරිදි අඩි 1 1/2ක් උසට කොළ රොඩු එකතු කරන්න. එපමණක් නොව නයිට්‍රජන් බහුල කොළ පොහොර වන ග්ලිරිසීඩියා, වල් සූරියකාන්ත කොළ හා කොම්පෝස්ට් පොහොර ඔබට වැනිලා වගාවට යොදන්න පුළුවනි. එමෙන්ම මේ වගාව සඳහා රසායනික පොහොර කිසිසේත් අවශ්‍ය වන්නේ නැත.

හැබැයි මෙම වසුන දිරා යද්දී නැවත අලුතින් වසුනක් යොදන්නත් අමතක කරන්න එපා. ඇතැම් අය මෙම වසුන සඳහා පොල්ලෙලි භාවිත කරන අතර මෙම පොල්ලෙලි වසුන් වේයන්ගේ

හානියට ඉතාම ඉක්මනින් ගොදුරු වේ. එබැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත්.

 

උපදෙස් - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ(කෑගල්ල)

සහකාර අධ්‍යක්ෂ

කේ.පී.පූර්ණිමා මධුෂානි

විශේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු සහ රුවන් බස්නායකට

 

 ඡායා - ලසන්ත අබේරත්න