වෙනත් මාධ්‍යයන් තුළද පහසුවෙන් ඩෙන්ඩ්‍රෝබියම් වගා කළ හැකියි

උඩවැඩියා මල් ලෝකය
ඔක්තෝබර් 6, 2021

සරුසාර අස්වැන්නක් නෙළා ගන්නට සාරවත් පසක්, එහෙමත් නැතිනම් උසස් වගා මාධ්‍යයක් අත්‍යවශ්‍යමයි. එළවළු, පලතුරු, අල වර්ග ආදියට සේම මල් වගාවටත් එය එක ලෙස බලපානු ලබන්නකි. මන්ද වෙනත් වගාවක අස්වැන්න භෝග වුවද, මල් වගාවක අස්වැන්න බවට පත්වන්නේ හැඩට පිපී දිලෙන මල් කුමාරියන්ය.

සාමාන්‍යයෙන් ඕකිඩ් මල් වගාවක වගා මාධ්‍යය වන්නේ උළු කැට කැබැලි සහ දැව අඟුරු කැබැලිය. මේවා දැල් පෝච්චි හෝ සිදුරු සහිත මැටි බඳුන්වල බහා ඕකිඩ් පැළ සිටුවා ගැනේ. ඊට අමතරව කොන්ක්‍රීට් කණු, කොහු ලණුවලින් එතූ දැව කැබලි, චිප් ගල් මිශ්‍ර කොහුබත් ආදියෙහි ද මේ ඩෙන්ඩ්‍රෝබියම් වගාව කළ හැකි වේ.

එබැවින් අද අපි ඒ පිළිබඳ සොයා බලමු.

ඩෙන්ඩ්‍රෝබියම් වගාවට සුදුසු වෙනත් මාධ්‍යය

 

1. කොන්ක්‍රීට් කණු

 

දැල් පෝච්චිවල දැමූ උළුකැට, අඟුරු මිශ්‍රණය තුළ මෙන්ම කොන්ක්‍රීට් කණුමත ගැට ගැසූ ඩෙන්ඩ්‍රෝබියම් පැළ ද ඉතා හොඳින් වර්ධනය වේ. මෙහිදී අඩි 06ක් හෝ 07ක් පමණ උස කොන්ක්‍රීට් කණු පළමුව සිටුවා ගත යුතුය. අනතුරුව මේ කණුවල ඉහළ සිට පහළ දක්වා කොහුලණු පොටවල් කිහිපයක් ඔතන්න.

ඉන්පසුව ඕකිඩ් පැළයේ පැරැණි දඬුව කණුවටත්, නව අංකුරය පිටතටත් සිටින සේ තබා ගැටගසන්න.

මෙහිදී නව අංකුරය නැගෙනහිර දෙසට ඉලක්ක වී තිබිය යුතුය. එමෙන්ම එකම කොන්ක්‍රීට් කණුවක නොයෙක් මට්ටම්වල ඕකිඩ් පැළ කිහිපයක් ගැට ගැසිය හැකියි. අවසන් මට්ටම පොළොව මට්ටමේ සිට අඩි දෙකකට වඩා අඩු නොවිය යුතුය.

 

සාමාන්‍යයෙන් දහවල් සූර්යාලෝකය එක එල්ලයේ මේ ඕකිඩ් වගාව මත පතිත වන්නේ නම් කණුවලට ඉහළින් සෙවණ දැලක් (50% සෙවණ සහිත) සවි කරන්න. නමුත් ඔබේ ගෙවත්තේ පිහිටි වෙනත් ගහකොළ මේ කණුවලට තරමක් දුරින් පිහිටා ඇත්නම් සෙවණ දැල් අවශ්‍ය නොවේ.

 

මේ වගා ක්‍රමය හරහා ඕකිඩ් වගාවට රෝග බෝවීමට ඇති ඉඩකඩ ද බොහෝ සෙයින් අඩු කෙරේ. ඒ වාගේම මෙම කොන්ක්‍රීට් කණු සහ ඕකිඩ් පැළ හොඳින් තෙත්වන පරිද්දෙන් උදේ, සවස ජලය සැපයීමත් නොකඩවා කළ යුතුයි.

 

2. කිතුල් ලී හෝ එවැනි ඝනකමැති ලී කැබැලි

 

හොඳින් මේරූ කිතුල් ලී කැබැලි සේම ඝනකමින් වැඩි පලු, මහෝගනී වැනි දැව කැබැලිත්, ගස් මීවන (Tree fern) කඳ

කැබැලිත් අපට මේ ඕකිඩ් වගාවට යොදා ගත හැකියි. එහිදී ආසන්න වශයෙන් අඟල් 6 x 4 කැබැලි වශයෙන් මේ දැව කැබැලි කපාගන්න. ඉන්පසුව ඒවා එල්ලා ගැනීමට හැකි පරිදි සිදුරක් සාදා කම්බි කොක්කක් දමාගන්න. අනතුරුව එම දැව කැබැල්ලට ඕකිඩ් පැළය තබා කොහුලණුවකින් ගැට ගසන්න.

 

මෙහිදී ද නව අංකුරය පිටතට සිටින සේ ගැට ගැසීමට මතක තබාගන්න. අනතුරුව උදා හිරුකිරණ පැළෑටි මත පතිත වනසේ වැටක් සාදා මෙම පැළ සහිත දැව කැබලි එහි එල්ලන්න. ඔබට දැව කැබැලි සපයා ගැනීමට අපහසු නම් ශක්තිමත් ශාකවල ඝනකම් පොත්ත වුවද මේ සඳහා යොදා ගත හැකියි.

 

3. චිප් ගල් සහ කොහුබත් මිශ්‍රණය

 

බඳුන්ගත ඕකිඩ් වගාවේ දී ඔබට අඟුරු, උළු කැට වෙනුවට චිප්ගල් සහ කොහුබත් මිශ්‍රණය යොදා ගත හැකිය. එහෙත් මෙම මිශ්‍රණය යොදා ගැනීමේ වාසිවලට වඩා අවාසි වැඩිය.

 

වාසි

• දැව අඟුරුවලට වඩා වියදම අඩුය.

• වගාවට අවශ්‍ය ජල ප්‍රමාණය ද අඩුය.

• වගාව ආරම්භයේ දී වේගවත් වැඩීමක් ඇත.

 

අවාසි

• වර්ෂා කාලයේ දී අනවශ්‍ය ලෙස ජලය රැඳේ.

එබැවින් වැස්සෙන් ආරක්ෂා කිරීමට පොලිතීන් ආවරණයක් යෙදිය යුතුය.

• වගාවට යොදනු ලබන පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල අනවශ්‍ය ප්‍රමාණයක් වගා මාධ්‍යයේ රැඳී පැවතිය හැකියි.

• චිප් ගල් මත දිය සෙවල බැඳී එමඟින් වගාවට රෝග බෝවිය හැකියි.

• කොහුබත් ඉතා ඉක්මනින් දිරායාම නිසා දිලීර රෝග ඇතිවිය හැකියි.

• අනවශ්‍ය රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට වගා මාධ්‍යය ජලයෙන් සෝදා හැරිය නොහැකිය.

• පැළෑටිය වර්ධනය වීමේදී නව පරිසරයට ඔරොත්තු දීමට මැලිකමක් දක්වයි.

• මේ වගා මිශ්‍රණයට දැල් පෝචිචි භාවිත කළ නොහැකිය. නමුත් වැසුණු වගා බඳුන් භාවිත කළහොත් එමගින් ඕකිඩ් මුල්වලට අවශ්‍ය වාතාශ්‍රය නොලැබී යයි.

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ