කොරෝනා සමඟ මේ විදිහට ජීවත් වෙමු

ජුනි 10, 2020

නයකු කුමන මොහොතේ පෙනය පුප්පනවාදැයි කිව නොහැකියි. නව කොරෝනා වෛරසය ද අප යන එන කුමන ස්ථානයේදී ආසාදනය වේවිදැයි කිව නොහැකිය. අවදානම තවමත් අප අතරය. අවදානමේ අවසානයක් ද පෙනෙන්නට නැත. ඒ නිසා රට විවෘත කළ ද තවත් දිගු කලක් සෞඛ්‍ය බලධාරීන් විසින් අපේ සනීපාරක්ෂාවට පනවන ලද නීති අකුරටම පිළිපැදීමට සිදුවෙයි. මේ පිළිබඳව දැනුවත් විය හැකි හොඳම පුද්ගලයකු ලෙස විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය හැඳින්විය හැකිය. අපි ඇගෙන් කොරෝනා සමඟ ජීවත්වීමෙදී අප පිළිපැදිය යුතු කරුණු මොනවාදැයි අසමු.

වෛරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික අවශ්‍යතා ඉටු කරගන්නේ කෙසේද?

*වෙළෙඳ පොළට යාමේදී

වැඩිදෙනෙක් නිවෙසින් බැහැරට යන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටයි. වසංගතයට කලින් පවුල පිටින් විමෝද ගමනක් යන්නාක් මෙන් වෙළෙඳ සල්වලට ගිය ද දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත.

දැන් අවශ්‍යාතා මිලට ගැනීමට යායුත්තේ නිවෙසින් එක් සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් පමණයි. ඇය / ඔහු පවුලේ නීරෝගි පුද්ගලයකු වීම වැදගත්ය.

වෙළඳසලේදී සැම විටම අනෙක් පාරිභෝගිකයන්ට වඩා අඩුම වශයෙන් මීටරයක දුරින් සිටීමට වගබලා ගන්න.

එකවර සතියකට දෙකකට හෝ මාසයකට හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකි නම නිතර කඩපිලට වෙළෙඳ සලට යාමට සිදුනොවෙයි. නිවෙසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ආසාදිතයකු වීමේ අවදානමක් ඇති බව අමතක නොකළ යුතුයි.

අවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම ලැයිස්තුගත කිරීමෙන් කාලය අපතේ නොයවා ඉක්මනින් භාණ්ඩ මිලදී ගත හැකි වෙයි.

අලෙවි සලට යාම සඳහා නිවෙසින් පිට වීමට පෙරත් පිටතට ගොස් පැමිණි පසුත් දෑත් සබන් ගා තත්පර 20 ක් සෝදන්න.

මිලදී ගන්නා භාණ්ඩ පමණක් අල්ලන්න. භාණ්ඩ අල්ලමින් සෑහෙන කාලයක් ගතකිරීමේ පුරුද්දට නැවතීමේ තිත තැබීමට සුදුසුම කාලය එළඹ තිබේ.

මුදල් වශයෙන් ගෙවනවාට වඩා කාඩිපතින් ගෙවීමෙන් විසබීජ අතින් අත යාමේ ඉඩ කඩ අඩු කරගත හැකිය. ළඟම, පයින් යා හැකි දුරක ඇති වෙළෙඳ සල් කරා පමණක් යන්න.

වෙනදා මෙන් ඔබ යන කඩ සාප්පු, වෙළෙඳ පොළ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලකින්ම පිරීඉතිරී නොතිබෙන්න පුළුවන. එමෙන්ම සමාජ දුරස්ථ භාවය පවත්වාගත යුතු නිසා ඉක්මනින් භාණ්ඩ රැගෙන පැමිණීමට ද නොහැකි වීමට ද පුළුවන. මේ සෑම දෙයක්ම උපේක්ෂාසහගතව ඉවසීමට පුරුදු වන්න.

නිවෙසට පැමිණි පසු මුලින්ම කළ යුත්තේ දෑත් සබන් ගා සේදීමයි. ඇඳගෙන ගිය ඇඳුම් සෝදන්න. නැත්නම් අව්වේ දමන්න.

සබන් ගා සේදීය හැකි එළවළු පලතුරු හොඳීන් සෝදන්න.(වට්ටක්කා, වටානා, කැකිරි, පිපිඤ්ඤා වැනි)

ආහාර හොඳින් පිස කෑමට ගැනීමේදී විසබීජ විනාශ වෙයි.

ශීතකරණය සබන් වතුරෙන් සෝදා පිරිසුදුව තබන්න.

* සාද, මංගල උත්සව ( මල්වර, මංගල ආදී ), අවමංගල උත්සව පැවැත්වීම

මංගල උත්සවයක් සිය දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්විය හැකියි. සියදෙනකුට දුරස්ථභාවය පවත්වා ගැනීමට තරම් මංගල ශාලාව විශාල විය යුතුය.

සිපවැලඳ ගැනීම් අතට අත දීම වැනි චාරිත්‍ර ඒවා උපත ලැබූ රටවලින් ද වසංගතය නිසා දැන් දුරස් වෙමින් පවතියි.

එවැනි චාරිත්‍රවලින් කොරොනා වෛරසය වැනි විසබීජ පහසුවෙන්ම එකිනෙකා අතර හුවමාරු විය හැකිය.

එනිසා සතුටේදී වේවා දුකේදී වේවා දුරස්ථ භාවය පවත්වා ගැනීම වැදගත්ය.

අවමංගල්‍ය උත්සවයක් ඉක්මනින් අවසන් කළ යුතුය. අවමංගල්‍යය පැවැත්වෙන නිවෙසට, ශාලාවට යා යුතු ගණනක් නැති නමුත් යන පුද්ගලයන් රැඳී නොසිට ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටවීම වැදගත්ය.

 

උපදෙස් -

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා

විශේෂඥ වෛද්‍ය

පබා පලිහවඩන

 

2020/06/08 තරුණි බලන්න.