කෝවිඩ් එන්නත විදින එක හොඳ ද?

පෙබරවාරි 10, 2021

 

අලුත් එන්නත ගැන හැම ප්‍රශ්නයකටම උත්තර මෙන්න

එන්නත ගැන නැඟෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු 1999 අංකයට සුවසැරියට ඇමතීමෙන් දැනගන්න පුළුවන්.

2021 වසර උදා වුණේ අංක 2020 ඉලක්කම් පෙළේ බින්දුවේ තැන අරක් ගෙන සිටි නව කොරෝනා වෛරසයට අංක එක ලෙස වෙස්වලා ගත් එන්නතක් පැමිණ සක්වල ගලටත් එහා විසි වෙන්නට දුන් පහරකින්.

මේ සජීවීකරණ සුබ පැතුම සියල්ලන්ගේම ජංගම දුරකථනවලට ලැබුණු සුබම සුබ පැතුමක් වුණා. සිත්වල සතුට අහස උසට ඉහළ නැංවූ ඒ සුබ පැතුම තව දුරටත් පැතුමක් නෙවෙයි. දැන් එය සැබෑවක් වෙලා. ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසනිකා ((AstraZeneca) එන්නත, නව කොරෝනා වෛරසයෙන් අප රැක ගැනීමට ගැලවුම් කරුවකු මෙන් පැමිණිලා. ඒත් තවමත් අබිරහසක් වී පවතින නව කොරෝනා වෛරසය වගේම ආගන්තුක ඇස්ට්‍රසනිකා එන්නත ගැනත් නොයෙකුත් කතා පැතිරෙනවා. ඇස්ට්‍රසනිකා නැති ලෙඩ ඇති කරනවාද? අලුත් එන්නත නිසා උණසන්නිපාතය හැදෙනවාද? පිරිමින් වඳ වෙනවාද? ?අසාත්මික වෙනවාද ? මේ වගේ කාරණා ගැන සමාජ වෙබ් අඩවි හරහා නොයෙකුත් මතිමතාන්තර බෙදාහදා ගැනෙනවා. සත්‍යය නම් මෙය අප භයානක වසංගතයකින් බේරා ගන්නා ප්‍රබල ආරක්ෂකයෙක්. වසූරිය ඇතුළු වසංගත රැසකින් මිනිස් ජීවිත බේරුණේ එන්නත්වල බල මහිමයෙන්. ඇස්ට්‍රසනිකාත් එවැන්නක්. ප්‍රතිශක්තිකරණ එන්නත් ලේඛනයට එක්වූ අලුත් ම එන්නතේ සත්‍ය වගතුග දැනගත් විට ඇතිවී තිබෙන අනියත බිය පහව යනවා නිසැකයි.

ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසනිකා ((AstraZeneca)කියන්නේ......

නව කොරෝනා වෛරසයේ මතුපිට ඇති අජීවී කොටසක් වන ප්‍රෝටීනයේ කොටසක් ගෙන නිර්මාණය කරන ලද්දක්. මේ ප්‍රෝටීනයෙන් අවෛරසයට එරෙහි ප්‍රතිරෝධීතාවක් සිරුරේ ස්වාභාවිකව ගොඩ නැඟෙනවා. එනම්

කෝවිඩ් - 19 ට එරෙහිව සිරුරේ ස්වාභාවිකව ප්‍රතිශක්තියක් ඇති වෙනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් වෙනවා.

එන්නත ලබාදුන් පසු අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමණශීලී නව කොරෝනා වෛරසය සතුරකු ලෙස හඳුනා ගෙන මතක තබා ගන්නවා. වෛරසය සිරුර ආක්‍රමණය කිරීමට පෙර විනාශකර දමනවා. එන්නත ලබා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. මුහුණු ආවරණ පැලඳීමෙන්, නිතර සබන් ගා දෑත් සේදීමෙන්, දුරස්ථභාවය පවත්වා ගැනීමෙන් පමණක් කෝවිඩ් - 19 වසංගතයෙන් ආරක්ෂා වීමට බැහැ. ප්‍රතිශක්තීකරණ එන්නතක් අත්‍යාවශ්‍යයි. එන්නත ගත්ත ද ඉහත සුව නීති තුන පිළිපැදීමත් කළ යුතුමයි. මේ දෙක ගසට පොත්ත වගේ එකිනෙකට සම්බන්ධයි. කෝවිඩ් - 19 වසංගතයක් නො වීමට නම් එන්නත ගෙන සුව නීති දිගට පිළිපැදිය යුතුයි.

එන්නත ගැන විශ්වාස කළ හැකිද?

මේ එන්නත වෙළෙඳ පොලට එන්නේ සතුන්ට මිනිසුන්ට අත්හදාබැලීම් ගණනාවක් කිරීමෙන් පසුවයි.

එන්නතේ අඩංගු මොනවද?

වෙනත් බොහෝ එන්නත්වල මෙන් මේවායේ ප්‍රතිදේහ, උපවර්ධක, කල්තබා ගන්නා ද්‍රව්‍ය, ස්ථායිකාරක (එන්නත නිෂ්පාදන ක්‍රියාවලියේදී ගබඩා කිරීමේදී බෙදාහැරීමේදී එන්නතේ ක්‍රියාකාරී ද්‍රව්‍යයන්ට හානි නො වීමට යොදන

ද්‍රව්‍ය) අඩංගුයි.

එන්නත ලබා නො දෙන පිරිසකුත් සිටිනවාද?

ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට, වයස අවුරුදු 18 ට අඩු අයට, කලින් එන්නතකට හෝ ඖෂධයකට අසාත්මිකතා තිබූ අයට (මෙවන් අය එන්නත ලබා ගන්නවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.) , ආහාර - ඔසු අසාත්මිකවී රෝහල්ගත වීමට සිදුවූ අයට එන්නත ලබාදෙන්නේ නැහැ.

අසාත්මිකතා ඉතිහාසයක් ඇත්නම් රෝහල් ගතවී වෛද්‍ය අධීක්ෂණය යටතේ එන්නත ලබාගත යුතුයි.

 

කෝවිඩ් එන්නත ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?

කෝවිඩ් - 19 ඉක්මනින් පැතිරෙන, සීග්‍රයෙන් බෝ වෙනසුලු, බරපතළ විය හැකි රෝගයක්. එන්නත ගැනීමෙන් තමන් වගේම පවුලේ අය ද ආශ්‍රිතයන් ද පොදුවේ සමාජය ද සුරැකෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමහරු රෝග ලකුණු පෙන්වන්නේ නැහැ. ඒත් රෝගය පතුරනවා. එන්නත මඟින් මේ අවදානම අඩු වෙනවා.

 

මේ එන්නත අසාත්මික විය හැකිද?

 

ඕනෑම එන්නතක් ලබා ගත් පසු එන්නත් කළ තැන රතු වීම, ඉදිමීම, වේදනාවක් දැනීම සාමාන්‍යයයි. වෙහෙස, උණ, හිසරදය, අතේ වේදනාව ද දුලබ නැහැ. මේ ප්‍රතික්‍රියා දින කිහිපයකින් නැතිවී යනවා.

අසාමාන්‍ය ලක්ෂණ වන්නේ කරකැවිල්ල, ආහාර අරුචිය, උදර වේදනාව, වසා ගැටිති ඉදිමීම, අධික ලෙස දහදිය දැමීම, කැසීම හා පලු දැමීමයි. මෙවිට වහාම රෝහල්ගත වන්න.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන්