කෝවිඩ් - 19 ගැන අලුත්ම තොරතුරු

නොවැම්බර් 4, 2020

ඔබට හොර රහසේ නව කොරෝනා වෛරසය සැඟවී ඇති තැන්

*වෛරස් රෝගවලට එරෙහිව ප්‍රතිදේහ සෑදුණත් ඒවා ඇතැම් විට වෛරසයට එරෙහිව සටන් කරනු වෙනුවට රෝගියාගේම සිරුරට පහර දීමට පෙලඹෙයි. නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් අතර ද මෙවැන්නෝ සිටිති.

*ජපන් පර්යේෂණයකට අනුව නව කොරෝනා වෛරසය සජීවීව පැය නවයක් මිනිස් සමේ පවතියි. මේ පුවත රැගෙන එන්නේ නිතර දෑත් සේදීම ඉතා වැදගත් බවය.

*රෝහල්ගත කරන ලද ආසාදිතයන්ට දිනපතා ඇස්පිරින් දීමෙන් මිය යාමේ අවදානම 47% කින් අඩු කරගත හැකි බව සොයා ගෙන තිබෙයි. ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම 44% කින් අඩුකර ගත හැකිය.

*ලොව කෝවිඩ් - 19 මරණවලින් සියයට පහළොවකටම වග කිව යුත්තේ දිගු කාලීන වායු දූෂණයයි. පරිසරය ආරක්ෂාකර ගත්තේ නැත්නම් මීටත් වඩා භයානක වසංගතවලට මිනිසාට මුහුණ දීමට සිදුවෙයි. සතුන් ද මේ නිසා රෝගී වන අතර සතුන්ගෙන් ද මිනිසාට රෝග වැලඳෙයි..

දෑත්වල වගේම කමිස කොලරයේත් විසබීජ රැඳෙනවා

අපේ ඇසට පෙනෙන සතුරන්ටත් වඩා භයානක වන්නේ ඇසට නොපෙනෙන සතුරන්ය. පුද්ගලයන් සම්බන්ධව පමණක් නොව වෛරස, බැක්ටීරියා, දිලීර සම්බන්ධව ද එය සත්‍යයකි.

මේ දිනවල ඇසට නොපෙනෙන සතුරන් අතරින් ප්‍රබලම සතුරා වී සිටින්නේ නව කොරෝනා වෛරසයයි. දෑතේ දැවටෙන, අවට වාතයේ රැඳී තිබෙන ලොවටම වසංගතයක් වී තිබෙන නව කොරෝනා වෛරසය ඇති තැන් හඳුනා ගැනීම එය අපේ ස්වසන පද්ධතියට ඇතුළත් වීම වැළැක්වීමේදී ඉතා වැදගත්ය.

ලොවම රෝගයෙන් පීඩාවට පත්ව තිබියදී රෝගයෙන් ආරක්ෂා වීමට ගතයුතු සියලු මාර්ග ඉතා ඉක්මනින් අමතක කළ අපේ අය රටම පීඩාවට පත්වෙමින් තිබියදීවත් අකුරට සුව උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍යය.

රෝගය සුව වුවත් ගැළවීමක් නැත.

නව කොරෝනා වෛරසය ශරීරගතවී කෝවිඩ් - 19 වසංගතයට ගොදුරු වූ පුද්ගලයකුට නැවත රෝගය වැළඳෙන්නේ නැතැයි කියා සැනසුම් සුසුම් හෙළිය නොහැකිය.

නවතම අධ්‍යයන මඟින් හෙළිවී තිබෙන්නේ රෝගයට එරෙහිව ඇතිවන ප්‍රතිදේහ ඉතා වේගයෙන් පහළ බසින බවය. එනම් රෝගයට එරෙහි ප්‍රතිදේහ අහිමිවී නැවත රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ යයි.

ප්‍රතිදේහ මාස තුනක් වැනි කෙටි කලයකින් 26% කින් පමණ අඩුවෙයි. ප්‍රතිදේහ නව කොරෝනා වෛරසයට ඇලී ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දීම වළක්වයි. දෙවැනි වර ප්‍රථම වර තරම් රෝගය දරුණු ලෙසින් බල නොපාන බවට විශ්වාසයක් පවතියි.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පවා කොරෝනා වෛරස විශේෂයකින් හට ගන්නා අතර එය ද නිතර නිතර වැලඳෙන්නේ ප්‍රතිදේහ ඉක්මනින් අඩුවීමේ හේතුවෙනි.

නව කොරෝනා වෛරසයට ගොදුරු වන බොහෝ දෙනකු රෝග ලකුණු පෙන්නුම් කරන්නේ සුළු වශයෙනි. කිසිදු රෝග ලකුණක් පෙන්නුම් නොකරන්නෝ ද සිටිති. වෛරසය ආසාදනය වන පුද්ගලයන් තුන් දෙනකුගෙන් දෙදෙනෙක්ම නව කොරෝනා වෛරසය ආසාදනය වූ විට ප්‍රධාන රෝග ලකුණු පෙන්නුම් නොකරයි.

අන්තර්ජාලයෙනි

 

2020/11/04 තරුණි පුවත්පත බලන්න