කෝවිඩ් - 19 ගැන මෙතෙක් නො ඇසූ කතා

දෙසැම්බර් 9, 2020

අමුත්තකු නිවෙසට පැමිණෙන විට ඒ අමුත්තා ගැන අපට කිසිවක් පැවසීමට නො හැකියි. එහෙත් දින සති මාස ගත වෙන විට අපට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන කෝවිඩ් - 19 ත් ඒ හා සමානයි. හැබැයි මේ භයානක සතුරා ලෝකයට ඇවිත් අවුරුද්දක්ම ගතවෙලා තිබුණත් තවමත් හරිහැටි හඳුනා ගෙන නැහැ. ඒත් ටිකින් ටික හඳුනා ගනිමින් පවතිනවා. දවසින් දවස ලොව පිළිගත් විද්‍යාඥයන්, වෛද්‍යවරුන් තොරතුරු ගෙන එන්නේ සතුරු මාරයාගෙන් ආරක්ෂා වීමට ගතයුතු වටිනා තොරතුරු ද ලබා දෙමින්. මේ වෛරසය ගැනත් රෝගය ගැනත් ලැබුණු නවතම තොරතුරුයි.

 

*ආසාදිතයකු සිටින කාමරයක කොපමණ වේලාවක් සිටීයොත් රෝගය ආසාදනය වේවිද?

ආසාදිතයකු විවෘත පරිසරයක සිටිනවාට වඩා භයානක දොර ජනෙල් වැසුණු පරිසරයක සිටින විටයි. එවන් පරිසරයකදී නීරෝගි පුද්ගලයකුට / පුද්ගලයන්ට ආසාදිතයකුගෙන් රෝගය බෝවීමට වැඩි ඉඩක් පවතිනවා. මෙය දැන් බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.

තාක්ෂණවේදය පිළිබඳ අමෙරිකාවේ මැසචුසෙට් ආයතනයේ පර්යේෂකයන් ගණනයකර ඇති අන්දමට ආසාදිතයා සිටින කාමරයට, වාතාශ්‍රය ලැබෙන විදි, පැලඳ සිටින මුහුණු ආවරණයේ ස්වභාවය, කෙතරම් උස් හඬකින් කතා කරනවාද ආදී කරුණු රෝගය ආසාදනය වීමට හෝ නො වීමට බලපානවා.

සෙනඟ නිවෙස්වල එක්රැස්වන උත්සව සමයේ මේ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

ඔවුන් පවසන අන්දමට කාමරයේ ප්‍රමාණය ආසාදනයට බලපාන්නේ නැහැ. එහෙත් පලඳීන මුහුණු ආවරණයේ ස්වභාවය සහ වාතාශ්‍රය තදින්ම බලපානවා.

සිවිලිං දැමූ අඩි 15 පමණ දිග කාමරයක එක් ආසාදිතයකු සමඟ නීරෝගි තරුණ පුද්ගලයන් 10 දෙනකුට සර්ජිකල් මුහුණු ආවරණ දමා පැය දෙකක කාලයක් වැසූ කාමරයක ආරක්ෂිතව සිටීමට පුළුවන්. එහෙත් වැසූ කාමරයක වැඩිහිටියන් සමඟ දස දෙනකු සිටින විට තත්ත්වය වෙනස්.

කෑමබීම ගැනීමට මුහුණු ආවරණ ඉවත් කළවිට හා උස් හඬින් උණුසුම් වාද විවාද පැවැත්වෙන විට අවදානම ඉහළ යනවා.

මැසචුසෙට් ආයතනයේ පර්යේෂකයන්ට තවමත් ගණනය කිරීමට හැකිවී තිබෙන්නේ එක් ආසාදිතයකු සිටින සුළු පිරිසක් එකට එක්වන එතරම් විශාල නැති තැන් ගැන පමණයි.

වර්ග අඩි 400 ක විසිත්ත කාමරයක තරුණ පුද්ගලයන් පස් දෙනකුට එන් 95 මුහුණු ආවරණ පලඳා ආරක්ෂිතව නර්තනයේ යෙදීමට හා ගීත ගැයීමට හැනියාව තිබෙනවා.

එහෙත් ඒ මිනිත්තු 35 ක වගේ කෙටි කාලයක්.

වර්ග අඩි 80 ක කාමරයක වයස්ගත තුන් දෙනකු මීටර් 2 ක ( අඩි 6 ක ) දුරස්ථභාවය පවත්වා ගත්ත ද රෝගයෙන් ආරක්ෂා විය හැක්කේ මිනිත්තු 3 ක් පමණයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම හොඳම මුව ආවරණ පැලඳීම වැනි යහපත් සුවපුරුදු පවත්වා ගෙන යාම මත රඳා පවතින බවයි.

* මොළයට බලපාන්නේ මෙහෙමයි

ගඳ, සුවඳ, රස නො දැනී යාම නව කොරෝනා වෛරසය ශරීරගතවූ විට මුලින්ම ඇතිවන ලකුණක්. මීට හේතුව ජර්මන් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. රෝගියකුගේ සෙම්බිඳීති ආශ්වාස වී නාසයේ ශ්ලේෂ්මල මත තැන්පත් වෙනවා. ශ්ලේෂ්මල හරහා මොළයේ ස්නායු සෛල ආසාදනය වෙනවා. ගඳ, සුවඳ, රස නො දැනීමට අමතරව හිසරදය, වෙහෙස, කරකැවිල්ල, ඔක්කාරය වැනි ලක්ෂණ ඇති වෙනවා.

 

*ආසාදිත දරුවන්ගෙන් තුනෙන් එකක් රෝග ලකුණු පෙන්නුම් කරන්නේ නැහැ.

කැනඩාවේ ඇල්බටාහි අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා නව කොරෝනා වෛරසය සඳහා දරුවන් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ දරුවන්ගෙන් 1/3 කට ( 35.9% කට ) කිසිදු රෝග ලක්ෂණයක් නැති බවයි.

රෝග ලකුණු ඇති දරුවන් පවා පෙන්නුම් කරන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවේදී හටගන්නා කැස්ස, සොටු දියර ගැලීම වැනි ලකුණුයි. එහෙත් ඒ ලකුණු වැඩිපුරම ඇත්තේ රෝගය වැලඳී නැති දරුවන්ටයි. දරුවන් රෝග ලකුණු පෙන්නුම් නො කිරීමෙන් තර්ජනයට ලක් වන්නේ නිවෙසේ වැඩිහිටියන්. නිවැරැදි සුව පුරුදු නිරතුරුවම පවත්වා ගැනීමේ වැදගත්කම මේ අධ්‍යයනයෙන් ද සනාථ වෙනවා.