කුලුඳුල් අම්මලාට මව්කිරිවල ගැටලු ඇතිවීම සාමාන්‍යයි

අගෝස්තු 18, 2021

දියණිය මව්කිරෙන් පෝෂණය ලැබීම අනාගත ආයෝජනයක්

 

අලුත උපන් දරුවා මව්කිරෙන් පෝෂණය කිරීම ආදරණීය අම්මාකෙනකුගේ වගකීමක්. මේ සඳහා ඇයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීම සහකරු ඇතුළු අනෙක් වැඩිහිටියන්ගේ යුතුකමක්.

හිරණ්‍යා පුංචි දුව තුරුළු කරගත්තු ගමන්මයි. සේමිතට නුහුරු වුණත් චූටි දුව විටෙන් විට වඩාගන්නේ පුදුමාකාර ආසාවකින්. හිරණ්‍යා පැය තුනෙන් තුනට බබාට කිරිදෙනවා. හැබැයි ඊට කලින් ඇහැරිලා ඇඬුවොත් බබාට කිරි අවශ්‍යයි කියලා දැනුණත් වෙලාව ගැන හිතහිත ඉන්නේ නැහැ.

 

ගැබිණිවියේදී තනපුඩුව හදමු

 

ඉපදිලා පැයක් දෙකක් ඇතුළත රෝහලේදී කිරි දීම පටන් ගන්නේ. මෙහිදී මවගේ පියයුරු තුඩ (Niple) ඉදිරියට නෙරා නැත්නම් පුළුන් කැබැල්ලක් තෙමා මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් එය රෝල්කර තනපුඩුව දරුවාට කිරි උරාබීමට පහසුවන පරිදි සකසා ගත යුතුයි. නැත්නම් දරුවාට කිරි ඉරීමට අපහසු වේවි. දරුවා කුසගින්නේ ඉන්න නිසා අඬාවි. දරුවා නළවා ගත නොහැකි ව ඔබත් අපහසුතාවට පත්වේවි. මේ නිසා ගර්භණී අවධියේ පටන් ම තනපුඩුුව සකසා ගැනීම වැදගත්. රජයේ රෝහල්වල පැවැත්වෙන ගර්භණී සායනවලදී කිරිදීම සම්බන්ධයෙන් කෙරෙන පුහුණු වැඩසටහන්වල දී ඔබට ලැබෙන අවබෝධය හරිම වැදගත්. එදා ලබාගත් අවබෝධය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හොඳම කාලය මේ.

 

මව්කිරි දීමට කාලසටහනක් අවශ්‍යම නැහැ.

මුල් දිනවල එන කිරි ප්‍රමාණය ඉතා අඩු වුණත් එය බබාගේ ශරීරයට එකතු කරන්නේ පුදුමාකාර ප්‍රතිශක්තියක්. එහෙත් දරුවාව අවබෝධ කරගෙන දරුවා හඬන විට දීම වඩාත් යෝග්‍යයි. මේ සඳහා කාලසටහනකට සිර විය යුතු නැහැ.

ඇතැම් අම්මලට එක තනපුඩුවකින් අනෙකට සාපේක්ෂව කිරි වෑස්සෙන්නේ අඩුවෙන් වෙන්න පුළුවන්. එක තනපුඩුවකින් පමණක් ම කිරි දෙන්න එපා. එවිට අනෙක් තනපුඩුවෙන් කිරි නිපදවීම අඩුවේවි. මේ නිසා මාරුවෙන් මාරුවට දෙපැත්තෙන්ම දෙන්න පුළුවන්.

 

පෙර කිරි සහ පසු කිරි

 

වරකට එක් තනපුඩුවකින් එක දිගට විනාඩි 20ක් පමණ කිරි දීම වැදගත්. ඒ මුලින්ම එන කිරිවල වැඩිපුරම ඇත්තේ වතුර. ඉන්පසුවයි දරුවාගේ බර වැඩිවීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් අඩංගු කිරි එන්නේ. කිරි දොවද්දී වුවත් සාමාන්‍යයෙන් මුලින්ම එරෙන කිරි (පෙර කිරි) දොවා ඉවත්කෙට දෙවැනියට එන ඝනකමින් යුතු කිරි (පසු කිරි) දරුවාට ලබා දෙන්නයි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ.

 

කිරි දෙන්න කිරි බොන්නට ඕනෑද?

 

අම්මා හොඳින් වතුර ඇතුළු දියර වර්ග පානය වැදගත්. කැෆේන්, කෘත්‍රිම බීම වර්ග සුදුසු නැහැ. පෝෂ්‍යදායි ආහාර, ව්‍යායාම, නින්ද මේ දේවල් කිරි දෙන අම්මට අවශ්‍යමයි. කිරි දෙන්න මව කිරි බොන්නට අවශ්‍ය ම නැහැ.

මව්කිරි දෙන තරමටමයි තව තව නිපදවෙන්නේ. හිතන්නකෝ ගබඩාවක ඇති බඩු හිස්වනවිටයි ගබඩාව තව තවත් බඩුවලින් පිරෙන්නේ. පියයුරත් ගබඩාවකට සමානයි. පියයුර හිස්වන තරමට ම එය කිරිවලින් පිරේවි.

 

කිරි දෙන අම්මා මානසික ආතතියෙන් මිදිය යුතුයි. කලබලකාරී පරිසරයෙන් මිදී නිසංසල තැනක පිහිටි කාමරයක් දරුවා වෙනුවෙන් වෙන්කර තැබීම කළ හැකියි.

 

උපත් පාලන ක්‍රමයක් නොවේ

 

මව්කිරි දීම උපත් පාලන ක්‍රමයක් කියා නම් කොහෙත් ම හිතන්න එපා. දරුවන් අතර වයස් පරතරයක් නොමැතිව ම නොදැනුවත්ව ම ඊළඟ දරුවා පිළිසිඳ ගන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ නිසා කොන්ඩම් භාවිතය වැනි සාමාන්‍ය උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම අතිශය වැදගත්.

කිරි බොද්දී දරුවන් නින්දට යෑම සුලබ කාරණයක්. නමුත් දරුවා ඇහැරවමින් එකදිගට විනාඩි විස්සක් හෝ කිරිදීමට මව දක්ෂ විය යුතුයි. ඉපදුණු අලුත බොහොමයක් අම්මලට කිරිදීමේ ගැටලු මතුවන්නේ තනපුඩුව පමණක් දරුවාට ඉරීමට දීම නිසා. තනපුඩුව සහ ඒ වටේට ඇති දුඹුරු පැහැති කොටසම (ඇරියොලාව) දරුවාගේ කටට ඇතුළු කළ යුතුයි. ඉපදුණු මුල් පැය කිහිපයේ මේ මුළු කොටසම දරුවාගේ පුංචි කටට ඇතුළු කරගත නොහැකිව මව දැඩි ලෙස පීඩාවට පත්වෙනවා. තනපුඩුව පමණක් ඉරීමෙන් කිරි පිටතට එන්නේ නැහැ.

 

පියයුරේ ස්වභාවය කිරිදීමට බාධාවක්ද?

 

පියයුරේ ස්වභාවය, එහි ප්‍රමාණය... මවුකිරි නිපදවීමට බලපෑම් කරන්නේ නැහැ. ඕනෑම දරුවෙක් උපතින් ම ගෙනෙන හැකියාවක්, කිරි උරා බීම. අවශ්‍ය වන්නේ දරුවා ගේ මුවට නිසි ලෙස තනපුඩුව, ඇරියොලාව ඇතුළු කිරීම පමණයි.

 

ප්‍රසූත නිවාඩු අවසන් වද්දී

 

ප්‍රසූත නිවාඩු අවසන් කොට රැකියාවට යන්න සූදානම් වෙද්දී පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපදෙස්වලට අනුව කිරි දොවන අන්දම, ඒවා ගබඩා කරන අන්දම පිළිබඳ මනා දැනුමක් ලැබේවි.

වසංගත රෝග පැතිරෙන මෙවන් වකවානුවක හැකි තරම් බිලිඳු දරුවන් පෝෂණය කළ යුතුවන්නේ මව්කිරෙන්මයි. මව්කිරි ඔවුන්ව මෙවැනි රෝගවල බිල්ලක් නොකරාවි.

 

කිරි සඳහා වැඩි ඉල්ලුම පුතාලගෙන් ද?

 

සාමාන්‍යයෙන් දුවෙකුට සාපේක්ෂ ව පුතෙකුගෙන් මව්කිරි සඳහාවන ඉල්ලුම වැඩිවේවි. එසේ යැයි කියා නොසිට දියණියව ත් පුළුවන් උපරිමයෙන් මව්කිරි ලබා දී පෝෂණය කළ යුතුයි. කුඩා කල ඇය මෙලෙස ලබන පෝෂණය දිනෙක ඇය මවක්වන දවසේදී පවා ප්‍රයෝජනවත් වේවි.

මේ නිසා මාස හයක් හැකිතරම් මව්කිරෙන් පමණක්ම ත් ඉන් එහාට මව්කිරි සමඟ අතිරේක ආහාරත් දිය යුතුයි. මාස හයෙන් පසු මව්කිරෙන් පමණක් ම ලැබෙන පෝෂණය දරුවාට නොසෑහේවි. දරුවාට වසරක් පමණ වෙද්දී උපත් බරෙන් තුන් ගුණයක් ප්‍රමාණයක සිටීම ප්‍රමාණවත්.

 

උපදෙස් - ආයුර්වේද විශාරද පණ්ඩිත විශේෂඥ වෛද්‍ය, මානව වෛද්‍ය

සුදත් ගුණතිලක