ප්‍රතිශක්තිය ඉහළ දමන වසංගත කිරිබත

නොවැම්බර් 18, 2020

ශ්‍රී ලාංකිකයන් වූ අපි සැමවිට ම දේශීයත්වයට වැඩි නැඹුරුවක් සහිත ජාතියක් වෙමු. එබැවින් අපට ම ආවේණික සිරිත් විරිත්, වෙද හෙදකම් ආදියට මුල් තැනක් ලබාදෙන අපි එමඟින් කරදරයක දී විපතක දී පිහිටක්, සහනයක් ලබාගන්නෙමු.

විශේෂයෙන් ම මේ දිනවල මුළු ලොවම පීඩාවට පත්කරන කෝවිඩ් 19 වසංගතය හමුවේ ද ශ්‍රී ලාංකික අපට ම උරුම විවිධ වත් පිළිවෙත්, කෙම් පහන් පිළිපදිමින් මේ කොරෝනා උවදුරට මුහුණ දෙන්නට උත්සාහ දරන්නෙමු .

ඒ අතර ම අපේ ආහාර රටාවන් ද යම් ප්‍රමාණයට වෙනස් කරමින් විශේෂයෙන්ම ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඇතිවන ආහාර පාන තෝරා ගන්නටත්, ඒවා කලට වේලාවට ලබා ගන්නටත් උනන්දු වන්නෙමු.

වසංගත කිරිබත

සම්මතයක් හැටියට වසරක් ගෙවී වසරක් උදාවන දිනයට සේම සිංහල අලුත් අවුරුද්දට දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපේ රටේ කිරිබතක් නොපිසෙනා නිවෙසක් නැති තරම්. ඊට අමතරව ජීවිතයේ එළඹෙන සෑම සුබ කටයුත්තක දී ම මෙන්ම බොහෝ දෙනකුගේ උපන්දිනයට ද අපි කිරිබතක් පිසින්නට පුරුදු පුහුණු ව සිටින්නෙමු .

නමුත් ඈත අතීතයේ ගම් ගොඩේ බෝවන රෝග, වසංගත පැතිරී යනවිට අපේ මවුවරුන්ට දිනපතා කිරිබතක් පිසින පුරුද්දක් තිබුණි. ඒ තම පවුලේ සාමාජිකයන්ගේ කායික ප්‍රතිශක්තියට මුල්තැන දීම පිණිස ය.

පෝෂණ ගුණයෙන් වැඩි සහල්

සාමාන්‍යයෙන් අප කිරිබතක් පිසින්නේ විශේෂ අවස්ථාවක දී මෙන්ම ඒ සඳහා භාවිත කෙරෙන්නේ සුදු කැකුළු සහල්‍ ය. නමුත් වසංගත කාලයේ පිසින කිරිබත ඊට තරමක් වෙනස්. මන්ද මේ කිරිබත සඳහා සුදු කැකුළු සහල් වෙනුවට යොදා ගැනෙන්නේ වස විස නැති දේශීය සහල් වර්ග යි. විශේෂයෙන් ම බෙහෙත් හීනටි, සුවඳැල්, මඩතවාලු , පොක්කාලි, කළු හීනටි, මා වී, දහනල වැනි පෝෂණ ගුණයෙන් උසස් ඖෂධීය ගුණයක් සහිත සහල් වර්ග මෙහිදී යොදා ගැනීමට වග බලා ගනිති.

සහල්වලට අමතරව වෙනත් ධාන්‍ය වර්ග

එමෙන්ම වර්තමානයේ අපි කිරිබතක් පිසින විට සහල්වලට අමතරව පොල් කිරි සහ ලුණු පමණක් භාවිත කරන්නෙමු. නමුත් අපේ අතීත ගැමි කාන්තාව මේ වසංගත කිරිබත පිසීමේ දී සහල් පමණක් නොව එයට මුං, තල, බඩ ඉරිඟු ඇට, කජුමද, මුද්දරප්පලම්, සූරාගත් ලබු මදය වැනි දෑ ද මුහුකර ගත්තීය. එමඟින් කිරිබතේ පෝෂණය වැඩි කරගැනීමත් එය වඩාත් රසවත් කරගැනීමත් ඇගේ අභිප්‍රාය විය.

ඊට අමතරව ඇයගේ කිරිබතෙහි පොල් කිරි, එළකිරි මෙන්ම ගිතෙල්වලට ද මුල් තැනක් හිමි විය.

 

කිරිබත් වර්ග

මේ වසංගත කිරිබත් පිසින අපේ අම්මාවරු ඒකාකාරී රටාවෙන් බැහැරව විවිධත්වයෙන් යුතුව කිරිබත උයා ගැනීමත් එකල විශේෂත්වයකි. පැණි පොල් හෝ විවිධ දෑ මිශ්‍රකළ ව්‍යාංජනයක් එහෙමත් නැත්නම් රසවත් බැදුමක් සහිතව සකසා ගත් ඉඹුල් කිරිබත මෙහිදී බෙහෙවින්ම ජනප්‍රිය විය. මෙලෙසින් විවිධාකාර උපක්‍රම භාවිත කරමින් කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ කෑම රුචිය වර්ධනය කිරීම ඇගේ අභිප්‍රාය විය.

බෝවන රෝග පැතිරී යනවිට අපට පුරුදු කටට රසැති කිරිබතට "වසංගත කිරිබත" යැයි විශේෂණයක් එකතු කිරීමෙන් ම එම කිරිබතෙහි ඇති කාලීන වැදගත්කම ජන මනසට කාවැද්දීමට අපේ ජනශ්‍රැතියට හැකිවී තිබේ.

මේ අප සියලු දෙනා කොරෝනා වසංගතයට ගොදුරු නොවීම සඳහා ප්‍රතිශක්තිය වර්ධනය කරගතයුතු අවධියකි.

එබැවින් ඉතා පහසුවෙන් එදා අපේ අම්මාවරුන් පිසගත් මෙවැනි කිරිබතක් උයා මේ මොහොතේ දී තම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිශක්තිය නංවා ගත හැකියි නේද ?

මොහොතක් සිතන්න ......

 

 

උපදෙස් - ජනශ්‍රැති

පර්යේෂක සහ ප්‍රවීණ ලේඛක,

මහින්ද කුමාර දළුපොත