අධිකව දහදිය දැමීම රෝගයක්...?

නොවැම්බර් 22, 2018
දහදිය ඇතැම් අයට බොහෝ ගැටලුවක්. ආයතන තුළ දී පවා මෙය ගැටලුවක් වෙන තරම්. මෙවැනි පුද්ගලයන් සමාජයේ දී අපහසුවට ලක්වන අතර මෙවැනි පුද්ගලයන් නිසා අනෙක් අයද යම් යම් අපහසුතාවලට ලක් වේ. එම නිසා අද කේරළ රහස් තුළින් දහදිය ගැටලු ඇති ඔබ වෙනුවෙන් අපි කරුණු ඉදිරිපත් කරන්නෙමු.
 
 
අපේ රට සමකාසන්නයේ පිහිටීම නිසා සූර්ය රශ්මිය දැඩි ලෙසින් පතිත වේ. දහදිය දැමීමට උපකාරී වන දහදිය ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ සම තුළයි. මෙම දහදිය ග්‍රන්ථින් සිරුර පුරා පිහිටා ඇතත් වැඩිපුර පිහිටා ඇත්තේ ඉකිළි, කිහිළි හා අල්ල, යටි පතුල් යන ප්‍රදේශවලයි. එබැවින් එම ස්ථානවලට වැඩි වශයෙන් දහදිය දැමීම සිදු වේ.
 
සාමාන්‍යයෙන් දහදිය දැමීම ස්වභාවික තත්ත්වයකි. දහදිය දැමීම මඟින් සිරුරේ පවතින විෂ ද්‍රව්‍ය ඉවත් වන නිසා සිරුරේ ඇති බහිස්‍රාවී ඉන්ද්‍රියයක් ලෙසින් ද සම හඳුන්වන්නේ මේ නිසා ය. සිරුරේ ඇති අධික ඌෂ්ණ බව නිසා ද වැඩි වශයෙන් දහදිය දමයි. ආයුර්වේදයට අනුව සිරුරෙන් පිටවන දහදිය ගැටලුකාරී තත්ත්වයන් අනුව කොටස් තුනකට බෙදෙයි.
 
1. ඌෂ්ණාධික
 
මෙහිදී සිරුරේ උෂ්ණත්වය වැඩි වීම නිසා නිතර දහදිය දැමීම සිදු වේ.
 
2. අති ස්වේද
 
දහදිය අධික ලෙස අස්වාභාවික ආකාරයෙන් සිරුරෙන් නිතර පිටවීම
 
3. ස්වේද ගන්ධතා
 
මෙයින් පැවසෙන්නේ සිරුරෙන් පිටවන දහදිය දුගඳක් සහිතව පිටවීමයි. මෙය අධික තරබාරුව නිසා මෙන්ම දෝෂයන් නිසා ද සිදු වේ.
 
අද වනවිට දහදිය දුගඳ සඳහා වෙළෙඳපොළේ නොයෙකුත් ඩියොඩ්‍රන්ට් වර්ග හා විලවුන් වර්ග ඇත. මෙහිදී තමාට ගැළපෙන සුදුසුම නිෂ්පාදනය තෝරා ගැනීමට ඔබ උත්සාහ කරයි.
 
එහෙත් සාමාන්‍යයෙන් ඩියොඩ්‍රන්ට් ආලේපන භාවිතයෙන් සිරුරට හානි සිදු විය හැකිය. එහි ඇතැම් ක්‍රියාකාරී සංයෝග වර්ග ද රසායනික ද්‍රව්‍යයන් ද ඇතුළත් ය. විශේෂයෙන් ම ශ්වසන ආබාධ, මිග්‍රේන් වැනි රෝග ඇති විය හැකියි. තාවකාලිකව සිරුරේ දුගඳ නැතිකර ඔබව සුවඳවත් කළ ද ඔබට නොදැනීම සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය ඇතුළු වේ.
 
අතීතයේ පටන් ආයුර්වේදයෙන් මේ සඳහා ස්වභාවික පිළියම් දක්වා ඇත. දහදිය දැමීම ස්වභාවික නමුත් එහි දුගඳක් ඇති වීමට හේතු සාධක බොහොමයක් පවතී. විශේෂයෙන් මල බද්ධය, හෝමෝන වෙනස් වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, සිරුරේ දැඩි ඌෂ්ණාධික බව යනාදිය ඉන් කිහිපයකි.
 
ආයුර්වේදයට අනුව දහදිය දුගඳ හැමීමට මූලික වන්නේ සිරුරේ ඌෂ්ණාධික බව, එනම් පිත නිසාය. එම නිසා මෙම පිත සමනය කිරීමට ආයුර්වේදයේ ප්‍රධාන කරුණු තුනක් මුල් කරගෙන ප්‍රතිකාර කළ යුතුයි.
 
* ආහාර
 
* ව්‍යාහරණ
 
* ඖෂධ
 
ආහාර යනු පැණි රස, තිත්ත රස, ක්ෂ්‍ය රස ආහාර ගැනීම හා එළකිරි, කිරි, ගිතෙල් භාවිතය කළ යුතුය. මේ මඟින් සිරුරේ දැඩි උෂ්ණත්වය පාලනය වේ.
 
ව්‍යාහරණ යනු සිසිල් සුළං වැදීම, ගස් සෙවණේ සිටීම, ඇළ දොළ ගංගා ආශ්‍රිතව දිය නෑම හා නිතර ස්වභාවික පරිසරය තුළ ගැටීම වැනි ක්‍රියාවන්හි යෙදීමයි.
 
ඖෂධ වල දී බඩ විරේක කිරීම, කෂාය වර්ග ගැනීම, සිරුරේ ඖෂධීය දුගඳ හරණ ආලේප ගැල්වීම මඟින් මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට හැකියාව ඇත.
 
ඒ සඳහා මෙම ආලේප වර්ග ඔබට සකසා ආලේප කළ හැකියි.
 
* බෙලිකොළ කුඩු, ලොත් සුඹුල් කුඩු, දෙළුම් පොතු කුඩු, වැල්මී කුඩු, කුඹුක් පොතු කුඩු ආදිය සම ප්‍රමාණවලින් ගෙන එය පිපිඤ්ඤා යුෂවලින් මිශ්‍රකර දිය නෑමට පැයකට පමණ පෙර සිරුර පුරා ආලේපකර වියළුණාට පසුව සෝදා හරින්න.
 
* නෙල්ලි කුඩු, අගිල් කුඩු, නාමල් රේණු, ඉරිවේරිය කුඩු, සැවැන්දරා මුල් කුඩු, සුදු හඳුන් කුඩු, තල ඇට කුඩු යනාදී සියල්ල සම ප්‍රමාණවලින් ගෙන එළකිරිවලින් මිශ්‍රකර දිය නෑමට පැයකට පෙර සිරුරේ ආලේපකර වියළුණු පසුව සෝදා හරින්න.
 
* වෙනිවැල් කුඩු, ඊතණ කුඩු, සුවඳ කොට්ටං, මුරුංගා පොතු කුඩු, වියළා ගත් දොඩම් කුඩු ආදිය සමව ගෙන පොල් වතුරෙන් හා කෝමාරිකා යුෂවලින් දියකර සිරුරේ ආලේපකර වියළුණු පසුව සෝදා හරින්න.
 
මෙම ප්‍රතිකාර සතියකට දින තුනක්වත් අවම වශයෙන් සිදු කළ යුතු අතර එලෙසින් මාස තුනක පමණ කාලයක්වත් සිදු කළ යුතුයි.
 
 
උපදෙස්
 
ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද
 
අසෝකා පල්ලියගුරු