කෙසඟ වීම නිරෝගී බවේ ලකුණක් ද?

දෙසැම්බර් 3, 2018

* ව්‍යායාම කිරීම දියවැඩියා රෝගීන්ට සුදුසු ද?

ව්‍යායාම රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වෙනවා. මෙතෙක් ව්‍යායාම නොකළ කෙනකු නම් වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කිරීම ඇරඹිය යුතුය. වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කිරීම දියවැඩියා රෝගියකුට අත්‍යවශ්‍යයි. ව්‍යායාම කිරීමට පෙර රුධිරයේ සීනි මට්ටම මැනීමත් ව්‍යායාම කරන අතරේ සීනි මට්ටම මැනීමත් මඟින් ව්‍යායාම කිරීම කොතෙක් දුරට සුදුසුදැයි කියා වටහා ගැනීමට පුළුවන්. රුධිරයේ සීනි මට්ටම එකම මට්ටමකින් තියෙනවාද අඩු වෙනවාද වැඩි වෙනවාද යන්න මත වෛද්‍යවරයා නිගමනයකට එළඹෙනවා. ව්‍යායාම කරන විට අතුරු පසක් ද ළඟ තබා ගත යුතුයි. සිරුරේ වෙවුලුම් ගතියක් ඇති වුවහොත් ව්‍යායාමය නවතා විවේකයක් ගැනීම වැදගත් වේ.

රෝග ගැන ඇති මිථ්‍යා මත රෝග වගේම ශරීර සෞඛ්‍යයට ද අහිත කරයි. රෝගී වීමට, රෝග උත්සන්න වීමට මේ වැරැදි මතිමතාන්තරයන් හේතු වන්නේ බැක්ටීරියාවකට, වෛරසයකට, දිලීරයකට වඩා බලවත්වයි.

මෙවැනි මිථ්‍යා විශ්වාසයන් ගණනාවක් තියෙනවා. ඒවා අතර සිහින් බව නිරෝගී බවේ ලකුණක් යන්නට ඇත්තේ මුල් තැනක්.

දියුණු රටවල වැඩිහිටි ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි බර හෝ ස්ථුල අයයි. ඔවුන් දැඩි වෙහෙසක් දරන්නේ වැඩි මේදය අඩු කිරීමටයි. සැබැවින්ම එය හොඳ සුව පෙර නිමිත්තක්ද?. වැඩි මහත හෝ ස්ථුලතාව අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීමට, රුධිර පීඩනය වැඩිවීමට හේතු වෙනවා. මහත ගතක් ඇති අය සිහින් ගතක් ඇති අය දෙස ඊර්ෂ්‍යා පරවශ චේතනාවෙන් බැලීම මේ නිසා අරුමයක් නොවෙයි. එහෙත් සිහින් බව නිරෝගීකමේ ලකුණක් ද?

දියවැඩියාව සෑදීමේ අවදානම වැඩි කිරීමට වැඩි බර හෝ ස්ථුලතාව සියයට 85 ක්ම හේතු වෙනවා. එහෙත් ඉතිරි සියයට 15 ක්ම ස්ථුල නොවන අයයි. සාමාන්‍ය බරකින් යුතු මිනිසුන් දියවැඩියාව සෑදී හදවත් රෝගයකින් හෝ වෙනත් හේතුවකින් මිය යාමට ඇති අවදානම තරබාරු පුද්ගලයන්ට වඩා දෙගුණයකින් වැඩියි. ජාන මෙහිදී ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. අතට අසු නොවන්නට ගැඹුරින් මේදය තැන්පත් වී නැති අයගේ උදර අවයවවල මේද බැඳී අභ්‍යන්තර ප්‍රදාහයන් ඇති වෙනවා. එය අක්මාවට බලපානවා.

ශරීර ස්කන්ධ ධාරිතාව නිරෝගීකම මනින සාධකයක් කරගෙන තිබුණ ද එයින් මැන බැලෙන්නේ බර පමණයි. සිරුරේ ඇති අමතර මේදය, අස්ථි, මාංසපේශී සියල්ලේම බර ඊට ඇතුළත්. අමතර මේදය කොපමණ තිබේදැයි ඉන් සොයා ගැනීමට බැහැ. සිරුරේ අඩංගු අමතර මේද ප්‍රමාණය, පිහිටි තැන, දියවැඩියාව, හදවත් රෝග, ආඝාත අවදානම ඉහළ නංවනවා. සිරුරේ අන් තැනක ඇති මේදයට වඩා උදරයේ අන්තර්ගත මේදය ශරීර සෞඛ්‍යයට ගැටලු ඇති කරනවා. නියමිත ශරීර ස්කන්ධ ධාරිතාවක් තිබුණ ද විශාල නෙරා ගිය ඉණ පෙදෙසක් තිබීම හදවත් රෝග අවදානම වැඩිවීමට හේතුවක්. එය ශරීර ස්කන්ධ ධාරිතාව සාමාන්‍ය ඉක්මවා තිබීමට ද වඩා භයානකයි.

ඉණ ආශ්‍රිතව මේද වර්ග දෙකක් තැන්පත් වෙනවා. එයින් එක් මේද වර්ගයක් අපේ අවයව වටා තැන්පත් වෙනවා. විසෙරල් නම් මේදය අධිකව තැන්පත් වීම සුදුසු නෑ. සිරුර පෙනුමින් සිහින් වුවත් සිරුර අභ්‍යන්තරයේ වැඩිපුර මේදය තැන්පත් වී තිබෙන්න පුළුවන්. විශේෂයෙන් දකුණු ආසියානු අපේ මේ තත්ත්වය වැඩියි. ව්‍යායාම නොකරන කෙනකුගේ මේ වර්ගයේ මේද වැඩිවීමේ ඉඩ වැඩියි. විසෙරල් මේදයට ක්‍රියාකාරී ද නැද්ද, දුම් පානය කරනවාද නැද්ද, සමබල ආහාර ගන්නවාද නැද්ද යන සියලුම හේතු බලපායි. විසෙරල් මේදය සඳහා සීටී ස්කෑන් හෝ එම් ආර් අයි පරීක්ෂණ නොකළ ද රුධිර පීඩනය මැනීම, සීනි, අහිතකර කොලෙස්ටරෝල් සඳහා රුධිරය පරීක්ෂා කිරීම හරිම වැදගත්. කෙසේ වුවත් මෙයින් වටහා ගත යුත්තේ සිහින් වුවත් එය දියවැඩියා, හදවත් රෝග, ආඝාතය සෑදීමේ අවදානම අඩු නොකරන බවයි.

* සීනි දියවැඩියාවට හේතු වෙනවා

සීනි අඩංගු ආහාර ගැනීම කෙළින්ම දියවැඩියාවටත් දුම්පානය කෙළින්ම පිළිකාවටත් වගකිව යුතු නැහැ. එහෙත් ඒ දෙකම වක්‍රාකාරව රෝගවලට බලපානවා. පමණට වඩා පැණිරස (සීනි) ආහාරයට ගැනීම තරබාරු බවට මඟ පාදනවා. තරබාරු බව දියවැඩියා අවදානම වැඩි කරන සාධකයක්. මෑතකදී කළ අධ්‍යයනයකදී පැණි බීම දියවැඩියා අවදානම මහත්විමත් සමඟ වැඩි කරන බව මෑතකදී කළ පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. කාන්තාවන්ට මේ අවදානම වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දිනකට වැඩිහිටියකු හැඳි 6 කට (ග්‍රෑම් 24 කට) වඩා ගැනීම සුදුසු නැහැ. ඒ එයින් තරබාරු බව වැඩි වී දියවැඩියා අවදානම වැඩිවන නිසයි.

සීනි අඩංගු ආහාර දියවැඩියා රෝගීන්ට සපුරා තහනම් නැත. පාලනයකින් යුතුව ඔවුනට ද පැණි රස ආහාර ගැනීමට පුළුවන්. සිරුරේ සෑම සෛලයකටම පැවතීම සඳහා සීනි අවශ්‍ය කරනවා. ඒවාගේම සීනි ශක්තිය ලබා ගැනීමට ඇති හොඳම මාර්ගයයි. අපේ ශරීරයේ ඉන්ධනය බවට පත් වන්නේ ග්ලූකෝස් බවට පත්වෙන සීනිය.

* දියවැඩියා රෝගීන් ගත යුත්තේ එකම වාගේ ආහාර වට්ටෝරුවක්.

අතේ ඇඟිලි පහ එකිනෙකට වෙනස් වගේ රෝගයක් වුවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් අයුරින් බලපානවා. දියවැඩියාව පාලනයේදී පොත්ත සහිත ධාන්‍ය, එළවළු, හිතකර මේදය, ප්‍රෝටීන් ඇතුළත් මෙඩිටරේනියන් ආහාර රටාවක් ගැළපෙනවා.

හාවඩ් සරසවියේ පර්යේෂණ වාර්තා ඇසුරිනි

* දියවැඩියාව ඇත්නම් ප්‍රතිෂ්‍යාවත් වැඩියි.

ඕනෑම කෙනකු ප්‍රතිෂ්‍යා, ෆ්ලූ තත්ත්වයන්ට ගොදුරු වීමට පුළුවන්. එහෙත් දියවැඩියා රෝගියකු ෆ්ලූ තත්ත්වයට ගොදුරු වුවහොත් දියවැඩියා තත්ත්වය පාලනය කිරීමට අසීරු වෙනවා. මේ නිසා රෝගයෙන් ආරක්ෂා වී සිටීම ඉතා වැදගත්.