උත්සව කාලේ අනතුරු වැඩියි පරෙස්සමෙන් ගිහින් එන්න

දෙසැම්බර් 12, 2018

උදෑසනට නිවහන කඩි ගුලක් වගෙයි. මවුපියන්ට දරුවන් පාසල් යවා තමනුත් රාජකාරියට යන යුද්ධය ඇරඹිලා. වැඩිම වැඩ කටයුතු සම්බාරයක් පැවරිලා තියෙන්නේ ගෙදර ගෘහණියට.

ඇය සැමියා, දරුවන් නිවෙසින් පිටත් කර හරින්නේ සහස් සුවහස් සුබ ප්‍රාර්ථනා සමඟයි. "දවසම සුබ වෙන්න.පරෙස්සමට ගිහින් එන්න" ඇතැම් විට මුවින් නොපැවසුව ද හදවතින් සිතින් එසේ නොපතන මවක, බිරියක නැති තරම්. එහෙත් නැවත එසේ දෙපයින් පැමිණීමට නොලැබෙන අය කොපමණ සිටිනවාද? මේ නොපැමිණීමට හේතුව හදිසියේ හටගත් හෘදයාබාධයක්, ආඝාත තත්ත්වයක් නොවෙයි. මඟ මරුවායි.

රිය අනතුරු අද වසර ගණනක් පවතින යුද්ධයකදී මිය යන ගණනකට වඩා, සුනාමිය වැනි සොබා දම් විපතකට වඩා මිනිසුන් බිලි ගන්නා ප්‍රධාන මාරයා බවට පත් වෙලා. රිය අනතුරු කීව ද වැඩි දෙනෙක් මරණයට පත් වෙන්නේ මාර්ග නීති පිළි නොපැදීමෙන්.

වාහන පදවන්නන්ට මෙන්ම පදිකයන්ට ද මෙය පොදුයි.

ඔබ දන්නවාද?

* අඩු වශයෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 1.25 ක් මාර්ග අනතුරු නිසා මිය යනවා.

* වැඩිපුරම මිය යන්නේ පදිකයන්, පාපැදි යතුරු පැදි ධාවකයන්.

* අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල අනතුරු වැඩියි. රිය අනතුරුවලින් 90% ක්ම සිදු වන්නේ අපේ වගේ දියුණු වෙමින් පවතින රටවලයි. ලෝකයේ රථ වාහන සංඛ්‍යාවෙන් 54% ක්ම තියෙන්නෙත් ලංකාව වැනි රටවලයි.

* මහ මඟ අනතුරුවලින් ඇතිවන තුවාල වයස අවුරුදු 5 - 29 ත් අතර පිරිසගේ මරණයට ප්‍රධානම හේතුවයි.

* ලෝක රිය අනතුරුවලින් මිය යන්නන්ගෙන් වයස අවුරුදු 15 - 44 ත් අතර පිරිස 48% ක්. * කාන්තාවන්ට වඩා පිරිමින් මාර්ග අනතුරුවලට ලක් වෙනවා. වයස අවුරුදු 25 ට අඩු තරුණයන් මාර්ග අනතුරුවලින් මිය යන්නන්ගෙන් 73% ක්. අවුරුදු විසි පහේ තරුණයකු මඟ අනතුරකින් මිය යාමේ ඉඩ ඒ වයසේ තරුණියක මිය යාමට වඩා තුන් ගුණයකින් වැඩියි.

* දවසකට ලෝකයේ පාසල් දරුවන්ගෙන් පන්සීයක් පාසල් ගොස් නැවත නිවෙසට පැමිණෙන්නේ නැහැ. ඒ රිය අනතුරකට ගොදුරු වෙලා.

අපේ රටේ වසරකට රිය අනතුරුවලින් තුන් දහසකට වඩා මිය යනවා. රිය අනතුරුවලින් වැඩිපුරම මිය යන්නේ අවුරුදු 25 - 45 අතර පුද්ගලයන්. එනම් රටේ වැදගත්ම ශ්‍රම බලකායයි.

බැක්ටීරියා, වෛරස් ආසාදන කෙළවරක් නැතිව පැතිරෙන කාලයක පවුලේ සාමාජිකයන්ගේ සුවසෙත ගැන ළතැවෙන, කුනාටු සුළි සුළං ගංවතුර කාලයේ ජීවිතාරක්ෂාව ගැන විමසිලිමත් වන ගෘහණිය දිනපතාම ඇති මාර්ග අනතුරු අවදානම ගැන සිතන්නේ නැති තරම්. පදිකයන් පමණක් නොව, රියැදුරන්, වාහනයක ගමන් කරන්නන්, වාහන හිමිකරුවන් මහ මඟට පිවිසෙන්නේ නිවහනක සිටයි. එනිසා දැනුවත් කිරීමේ හැන්ද ඇත්තේ ගෘහණිය අතයි. මහමඟට පිවිසෙන සෑම දිනකම මාර්ග නීති, අනතුරුවලින් ආරක්ෂා වීම ගැන පවුලේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම සියල්ලන්ටම සිහිපත් කර යහතින් නිවෙසට පැමිණීමේ ආශීර්වාදය ලබාදීමේ කාර්ය භාරයේ දැවැන්ත කොටසක් ගෘහණියට පැවරී තිබෙනවා.

 

තව දුරටත් .....

2018/12/12 තරුණි පුවත් පත බලන්න.