මහත් වෙන්න කැමැති ද?

දෙසැම්බර් 26, 2018

අපි බොහෝ වෙලාවට කතා කරන්නේ බර අඩුකර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. ඒ අයට මේ ලිපිය ඉතා වැදගත් වේවි.

මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක තබා ගත යුතු තවත් දෙයක් තියෙනවා. සීනි සහ මේදය අඩංගු ආහාර බර වැඩි කර ගැනීමට උපකාරි වුවත් ඒවා වැඩි වශයෙන් ආහාරයට ගැනීම සිරුරට අහිතකර විය හැකි බවයි.

අර්තාපල්

අර්තාපල් කියන්නේ බර වැඩිකර ගැනීමට උපකාරි වන ආහාරයක්. පිෂ්ටයෙන් පරිපූර්ණ වුණු අර්තාපල් ඉක්මනින් දිරවනවා. මෙහි ඇති පිෂ්ටය ඉක්මන්ම ග්ලූකෝස් බවට හැරෙනවා. ඒ වගේම අර්තාපල් විටමින් ඛ් සහ පොටෑසියම්වලින් අනූනයි.

වියළි පලතුරු

වියළි පලතුරුවල ජලය ඉවත්කර ඇති නිසා සියලු ගුණ සාන්ද්‍රණය වී තිබෙනවා. මේවායේ විටමින් වර්ග සහ සීනි යහමින් අඩංගුයි. මේ වියළි පලතුරු ඔබට යෝගට්, සලාද හෝ සීරියල් වැනි ගුණවත් ආහාර සමඟ මුසුකර ආහාරයට ගත හැකි නම් ඉතා අගනේය.

අලිගැට පේර

අලිගැට පේර කියන්නේ බර වැඩිකර ගැනීමට උපකාරී වන ගොඩක් ගුණවත් සහ සෞඛ්‍යසම්පන්න පලතුරක්. මෙහි සිරුරට හිතකර මේදය යහමින් අඩංගුයි. කෙසේ වෙතත් අලිගැට පේර ආහාරයට ගැනීමේදී සීනි මුසු නොකර ආහාරයට ගතහැකි නම් එය තවත් සෞඛ්‍යසම්පන්න වෙනවා.

කෙසෙල්

අනෙකුත් පලතුරු වර්ගවලට සාපේක්ෂව කෙසෙල්වල අඩංගු කැලරි ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය වැඩියි. කෙසෙල් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය තත්ත්වය රැකදීම මෙන්ම සුවදායි නින්දක් ලබාදීමටත් උපකාරි වෙනවා.

චීස්

චීස් අවුන්සයක කැලරි 110 ක් අඩංගු වෙනවා.

ඒ වගේම චීස් කැල්සියම් සහ ප්‍රෝටීන්වලිනුත් අනූනයි. ඔබේ බර වැඩිකර ගැනීමට චීස් හොඳ උපකාරක ආහාරයක්.

කජු වර්ග

කජු, රටකජු, ආමන්ඩ් ඇට ඇතුළු ධාන්‍ය වර්ගත් ඔබේ සිරුරේ බර වැඩිකර ගැනීමට උපකාර කරනවා.

මෙම ඇට වර්ගවල හදවතට හිතකර මේද වර්ග සහ තන්තු යහමින් අඩංගුයි. බොහෝමයක් ඇට වර්ගවල ඔමේගා 3 අම්ලයත් අඩංගු වෙනවා.

පලතුරු බීම

පලතුරු බීමවල සීනි වගේම පෝෂක වර්ග රැසක් අඩංගු වෙනවා. පුරුද්දක් ලෙස පලතුරු බිම පානය කිරීමෙන් ශරීරයේ බර ක්‍රම ක්‍රමයෙන් වැඩි කර ගත හැකියි.

යෝගට්

යෝගට්වල ප්‍රෝටීන්, සිරුරට හිතකර මේදය සහ සීනි අඩංගු වෙනවා. එහි ඇති කැලරි ප්‍රමාණයත් ඉහළයි.

උපදෙස්  - පෝෂණවේදී වෛද්‍ය

ආනන්ද චන්ද්‍රසේකර