ඔබත් ලේ මදිකමින් පෙළෙන්නේද?

දෙසැම්බර් 26, 2018

අප සෑම කෙනෙකුගේම සිරුරේ රුධිරය එහා මෙහා ගමන් කරයි. රුධිරය අඩු වැඩි වශයෙන් එක් එක් අයගේ සිරුරේ පිහිටයි.

රුධිරය රතු පැහැවන්නේ එහි ඇති රතු රුධිර සෛල නිසාය. එම සෛල රත් පැහැ ගන්නේ හිමොග්ලොබින් නමැති වර්ණකය නිසාය.

නිරෝගී අප සැමගේ රුධිරයෙහි ඇති හිමෝග්ලොබින් ප්‍රමාණය සම්මත මට්ටමක පවතී.

එය වයසට හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව පැවතිය යුතු මට්ටමක් ඇති අතර පැවතිය යුතු මට්ටමට වඩා අඩුවීම රක්තහීනතාව යි.

රක්තහීනතාව ඇතිවන්නේ

මේ සඳහා හේතු කිහිපයක්ම බලපායි. ඒ සඳහා මූලිකම හේතුව වන්නේ විටමින් ඌනතාව (විටමින් ඕ12 ෆෝලේට්) හා යකඩ ඌනතාවයි.

මීට අමතරව ඇටමිදුළු තුළ රුධිර සෛල නිපදවීම අඩුවීම, හෝර්මෝන ඌනතාවත්, වර්ධක සංඝටක ඌනතාවත්, පිළිකා තත්ත්වයන් (ලියුකේමියා සහ අනෙකුත් පිළිකා වර්ග) ඇටමිදුළුවල පැතිරීම, ශරීරයේ කල්පවත්නා රෝග (ආතරයිටිස්), රතු රුධිර සෛල සාමාන්‍ය ආයු කාලයට පෙර විනාශවීම, රුධිර වහනය, වකුගඩු/අක්මා ආශ්‍රිත රෝග වැනි හේතූන් ද බලපායි.

පෝෂණ ඌනතාවන් හටගැනීම

ඉහත කී හේතූන් අතරින් ප්‍රධානම හේතුව සහ පෝෂණ ඌනතාව හඳුනාගෙන තමාටම සුළු හෝ දෙයක් කළ හැකිවේ.

යකඩ ඌනතාව - කල් පවතින රුධිර වහනයන් යකඩ ඌනතාවට හේතු විය හැකියි.

මෙහිදී මාස ගණනාවක් තිස්සේ නොදැනුවත්ව සිදුවන රුධිර වහනයන් මෙයට බලපායි.

ගැස්ට්‍රයිටිස්, අර්ශස්, අන්ත්‍ර පිළිකා සහ පණු ආසාදන නිදන්ගත ආමාශ රෝග ඉන් සමහරකි. එබැවින් වැඩිහිටි අයගේ අන්ත්‍ර නිරෝගී බව තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. ඔසප් රුධිරය අධිකව පිටවීමත් මෙයට හේතුවකි.

යකඩ සහිත ආහාර නොගැනීම ද යකඩ ඌනතාව කෙරෙහි සෘජුවම බලපායි.

මස් හා මාළු වැනි සත්ත්වමය ආහාර, නැවුම් එළවළු, සලාද හා පලාවර්ග යකඩ සහිත ආහාර කිහිපයකි.

 

2018/12/26 තරුණි පුවත්පත බලන්න