ගුරු දෙගුරු හිංසනයෙන් දරුවන්ගේ ජීවිත අඳුරේ

ජනවාරි 16, 2019

අතීතයේදී විවාහක යුවළක් දරුවකු පැතුවේ පාරමිතා පුරන බෝධි සත්ත්වයකු වාගෙයි. මේ නිසාම දරුවකු බිහිකරන කාන්තාවට 'ගෙදර බුදුන් අම්මා' යන උත්තරීතර පදවිය හිමි වුණා. ගුරු දෙගුරු ආදරය, අවධානය, ආරක්ෂාව ළිප් ගල් තුනක් වී යහපත් දක්ෂ පුරවැසියකු සමාජයට තිළිණ වුණා.

අප ජිවත්වන විසි එක් වැනි සියවසේ දරුවකු ගුරුවරුන්ගේ මාපියන්ගේ ආදරය, අවධානය, ආරක්ෂාව ලබනවාද? අද විවාහ වී එක වහලක් යට සමගි සම්පන්නව ජීවත්වන අඹු සැමියන් සංඛ්‍යාව සීමාසහිතයි. බැඳුණු සැණින් බිඳෙන විවාහ සංස්ථා ගණන විවාහය සාර්ථකව පවත්වාගෙන යන සංඛ්‍යාවට වඩා ඉතා වැඩියි. මාපියන් විරසක වී දෙතැනක නොවුණ ද මව හෝ පියා විදෙස් ගතවීමෙන්, දික්කසාද වීමෙන්, දික්කසාද නොවුණ ද එක වහලක් යට ඌරන්, කොටින්, නයි, මුගටින් මෙන් හැසිරීමෙන් දරුවා පහසුවෙන්ම හිංසනයේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන් ඉඩ වැඩි වෙනවා.

ළමා හිංසනය කී සැණින් අපට පවුල් සංස්ථාවෙන් පරිබාහිර පුද්ගලයන් සිහි වුව ද වැඩි වශයෙන්ම දරුවා හිංසනයට ලක් වන්නේ දරුවාට වඩාත් සමීප, දන්න හඳුනන පුද්ගලයන්ගෙනුයි.

අමෙරිකාවේ දිනකට දරුවන් තිදෙනෙක් හිංසනයෙන් සහ නොසැලකිල්ලෙන් මිය යනවා. එය අනතුරුවලින් මිය යන ගණනට වැඩි ගණනක්. දරුවන් බොහොමයකගේ වයස අවුරුදු හයට අඩුයි. දරුවන්ගේ මරණවලට ප්‍රධානම වගඋත්තරකරුවන් නැත්නම් අපරාධකරුවන් බවට පත් වී ඇත්තේ මාපියන්. මේ තත්ත්වය අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්.

ගුරු දෙගුරුන් අමතක කරන ප්‍රධානම දේ දරුවාටත් වැඩිහිටි අයට මෙන් ඇසෙන බව, පෙනෙන බව, දැනෙන බව අමතක කිරීමයි. වැඩිහිටියන් දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමේදී ඇතිවන දුබලතාව, ශරීර ශක්තියෙන් අඩු බව තම වාසියට පෙරලා ගන්නවා.

ගුරු දෙගුරුන් වීම දරුවා හිංසනයට පත් කිරීමට ලැබෙන බලපත්‍රයක් නොවෙයි.

* මාපිය ගුරු දෙගුරුන් දරුවන් කිහිප අයුරකින්ම හිංසනයට ලක් කරනවා. අපචාර කියූ විට ලිංගික අපචාර බහුතරයකගේ සිහියට නැගුණත් ළමා හැඟීම් අපචාරයට ලක් කිරීම, නොසලකා සිටීම පවා හිංසනයට ඇතුළත්.

සැම විටම දරුවාගේ වැරැදි සෙවිම, විවිධ උපහාස නම්වලින් දරුවා ඇමතීම, දරුවා විහිළුවකට ගැනීම, නපුරු වචන භාවිත කිරීම, විවේචනය කිරීම, බය කර දරුවා පාලනය කිරීම හැඟීම් අපචාරයට ලක් කිරීමක්. එයින් දරුවාගේ ආත්ම විශ්වාසය සිඳී බිඳී යනවා.

 

2019/01/16 තරුණි බලන්න