පලතුරු කෑම ද බීම ද වඩා හොඳ ද?

ජනවාරි 16, 2019

රාජකාරි බහුල නිසා සමහර කාන්තාවන් සපන දෙයකට වඩා බොන දෙයකින් කුස පුරවා ගන්න පුරුදු වී සිටිනවා.

තවත් අය ඝන ආහාර නොගන්නේ සිරුරේ හැඩය පාලනය කර ගන්නයි.

හේතුව කුමක් වුවත් මේ පුරුද්ද නම් ඒ තරම් නුවණට හුරු නැහැ.

මේ පුරුද්ද නිසා කෙටි කාලීනව හිසරදය, වෙහෙස, කරකැවිල්ල ඇතිවේ.

දිගුකාලීනව පාන වර්ග, ඝන ආහාර ගැනීම වෙනුවට පුරුදු වුණොත් මාංශපේශි ක්ෂය වෙනවා. අක්මාව රෝගී වෙනවා. දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙනවා.

පැඟිරි කුලයේ පලතුරු බ්ලෙන්ඩර්කර පානයට ගත් විට හිසරදය වැඩිපුර සෑදෙන බව සොයාගෙන තිබෙනවා. දොඩම් ලෙල්ල සමග මිරිකීමේදී සිනෙෆ්‍රීන් නම් රසායනයක් නිකුත්වන අතර එයින් රුධිර නාල පටු වී අවහිර වෙනවා. මෙයද හිසරදය ඇතිවීමට හේතුවක්.

සමහර අයට මැග්නීසියම් ඌනතාව ඇති කිරීමටත් පැඟිරි කුලයේ පලතුරු හේතු වෙනවා. මැග්නිසියම් අඩුවීමත් හිසරදයට බලපානවා. දැඩි වෙහෙස, නොරිස්සුම් සහගත බව හා මල බද්ධය අනෙක් ගැටලුයි.

එළවළු, පලතුරු කියන්නේ පෝෂක ගබඩාවක්. විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේදය, තන්තු සහ වැදගත් ඇමයිනෝ අම්ල රාශියක් එහි තිබෙනවා. මේ සියල්ල පලතුරු යුෂ පානයෙන් අහිමි වෙනවා.

එම නිසා පලතුරුවල ස්වභාවික ගුණය රැකෙන පරිදි, පානය නොකර ආහාරයට ගන්න.