දියර කිරි භාවිතයෙන් නිරෝගිමත් දේශයක්..!

ජනවාරි 23, 2019

‘කිරි’ සශ්‍රීකත්වයේ සංකේතයයි. එය අතීතයේ සිට ම පැවතුණු සම්ප්‍රදායකි. සුබ කටයුත්තකට පෙර කිරි ඉතිරවීම මේ නිසා අදටත් අප විසින් සිදු කරනු ලබන්නේ මංගල කාරණාවක් ලෙසයි. සුබපැතුමක දී ද ‘කිරියෙන් පැණියෙන් ඉතිරේවා’ ලෙසින් සුබාසිරි ගෙනෙන්නේ අපගේ සංස්කෘතියෙන් ම අපට එය ලබා දී ඇති බැවිනි.

එහෙත් අද වන විට සංකේතයක් ලෙස විනා, කිරි භාවිතය අඩු වී ඇති බවක් පෙනෙන අතර සමාජයේ පෝෂණ ඌණතා මෙන්ම එමඟින් ඇති වන රෝග ද වර්ධනය වී ඇත.

මේ හේතූන් නිසා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මඟින් වැඩපිළිවෙළක් සකසා ඇත. මේ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය හා කටයුතු කරන වෛද්‍ය නිරෝෂන් ගමගේ සමඟ කතා බහක නියැළුණෙමු.

ලාංකිකයන් විසින් කිරි භාවිත කිරීම අඩු වෙන්නේ ඇයි?

අද අපේ රටේ කිරි භාවිත කරන ආකාරය බලන්න කලින් අතීතයේ එය පැවතුණේ කොහොමද කියලා බලන එක වැදගත්. මොකද ඕනෑම දෙයක් සාපේක්ෂව තමයි අපට බලන්න වෙන්නේ.. අතීතයේ සිට ම අපේ මිනිස්සු කිරි ලබා ගැනීම සඳහා ගවයන් ඇති කළා. පවුලේ සියලුදෙනා උදෑසන දවස ආරම්භ කළේ කිරි කෝප්පයක් පානය කිරීමෙන්.

අපේ අය ගිතෙල් වැඩි වශයෙන් භාවිත කළ බවට පොත්පත් පවා සාක්ෂි දරනවා. රසවාහිනියේ තියෙනවා එක් අවස්ථාවක තිසා වැවේ අඟල් 4 ක් ඝනකමට තෙල් තට්ටුවක් මිදුණ බවට. එසේ වී තිබෙන්නේ ස්වාමීන්වහන්සේලා තිසා වැවෙන් පාත්‍ර සේදීම නිසා පාත්‍රවල තිබූ තෙල් සේදීයාම නිසා බවට එහි සඳහන්.

මෙහි යම් තරමකට අතිශයෝක්තියක් තියෙන්නට පුළුවන් වුණත් අපි බැලිය යුත්තේ එසේ සඳහන් කිරීමට තරම් ගිතෙල් ප්‍රමාණයක් භාවිතකර තිබෙන බවයි.

ආයුර්වේදයේ කියන්නේ ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා.. එපමණට ම ගිතෙල් සිරුරට ගුණදායකයි. අපේ සංස්කෘතියේ ගවයාට විශේෂ ස්ථානයක් තිබුණා. පොළොන්නරු යුගයේ දී වෙල්ගම්මුල සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා පන්සලට ගවයන් පූජා කළ බව. සාමාන්‍යයෙන් පන්සලකට පූජා කරන්නේ මිනිස්සුන්ට තියෙන වටිනා කියන දේවල්..

ගොවිපොළ කියන දේ ඉස්සර තිබුණට දැන් ගොවිපොළවල් වෙනුවට වෙනත් ව්‍යාපෘති නේද තියෙන්නේ..

ඔව්, ඇත්තට ම ගොවිපොළ කියන වචනය හැදිලා තියෙන්නේ ගෝ පොළ කියන වදන්වල එකතුවෙන්. ගෝ කියන වදනින් අදහස් වෙන්නේ ගවයා කියනඑක. ගවයන් සිටි ස්ථානය තමයි ගොවිපොළ. ඒ විතරක් නෙමෙයි.

ඉස්සර ගොවිපොළ ආශි‍්‍රතව බෝග වගාවන් කළා. ගවයන්ගේ ගොම, මුත්‍රා ආදිය පසට පොහොර ලෙසින් එක් වුණ නිසා එම බෝග වගාවන් ඉතාමත් සරුසාරව වැඩුණා. ඒ නිසා අමුතුවෙන් ඒවාට පොහොර දමන්නට වුවමනා වුණේ නෑ. බෝග වගාවේ ඉතිරි වන දේ ගවයන්ට ආහාර ලෙසින් ලැබුණා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ලැබී තිබුණේ ඒ විදියටයි. වස විස නැති කෘෂි කර්මාන්තයට ගොවිපොළවල් හොඳ උත්තේජකයක් සහ විසඳුමක්.

අදටත් ගවයන් ආශි‍්‍රතව තම ආර්ථිකය සලසා ගත් මිනිසුන් සිටිනවා. ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණ කරනවා.

ඔවුන් එම කිරි නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික ආකාරයටයි. ඒ නිසා මේ දියරකිරි ශුද්ධ වූ එනම් පිරිසුදු කිරි ලෙස හඳුන්වන්න පුළුවන්.

මේවා පිටිකිරි නෙමෙයි. ස්වභාවික පිරිසුදු දියර කිරි. මේ කිරි එක් අයකුට මිලිලීටර 100 ගානේ බෙදුවත් ලංකාවේ ජනගහනයෙන් 36% ක ප්‍රමාණයට පමණයි ප්‍රමාණවත්.

මේ නිසා කිරිපිටි පිටරටින් ගෙන්වන්න වෙලා තියෙනවා. ඒත් අපේ රටේ මේ කිරි නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා නම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිකර ගන්න පුළුවන්.

පිටිකිරි කියන්නේ නියම පෝෂණයෙන් යුතු කිරි නෙමෙයි. ඒවායෙහි ස්වභාවික කිරිවල තියෙන ගුණාත්මක භාවය බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් අපේ රටේ සමහර මිනිස්සු තමාගේ ගොවිපොළේ කිරි විකුණලා කිරිපිටි මිල දී ගන්න තත්ත්වයට පත්වෙලා. පෝෂ්‍යදායී දේ අඩු මිලට විකුණලා රොඩු ටිකක් වැඩි මිලට ගන්නවා.

 

2019/01/23 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.